දශකයේ ක‍්‍රිකට් සම්මාන සඳහා සංගා, මාලි, මහේල, හේරත්…

ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලය විසින් දශකයේ ක‍්‍රිකට් ක‍්‍රීඩකයා තේරීමේ ලැයිස්තුවට ශ‍්‍රී ලංකාවේ හිටපු සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර සහ ලොව වමත් දඟ පන්දු යවන්නකු වශයෙන් වැඩිම ටෙස්ට් කඩුලූ ලාභියා වූ රංගන හේරත්ව නම් කර තිබේ.
අදාළ ලැයිස්තුවට ඉන්දියානු ක‍්‍රිකට් නායක විරාත් කෝලි සහ ඔවුන්ගේ දඟ පන්දු යවන ක‍්‍රීඩක රවීචන්ද්‍රන් අශ්වින්ද ඇතුළත් කර ඇත. මීට අමතරව එංගලන්තයේ ජෝ රූට්, දකුණු අප‍්‍රිකාවේ ඒ.බී. ඩිවිලියර්ස්, නවසීලන්තයේ කෙන් විලියම්සන්, ඔස්ටේ‍්‍රලියාවේ ස්ටීව් ස්මිත් යන ක‍්‍රීඩකයන්ද සංගක්කාර සහ හේරත්ට අමතරව ඇතුළත් කර ඇත. ඒ අතරින් වසරේ ටෙස්ට් ක‍්‍රිකට් ක‍්‍රීඩකයා තේරීම ඡුන්ද විමසීමකින් සිදුකරනු ඇත.
දශකයේ හොඳම ටෙස්ට් ක‍්‍රිකට් ක‍්‍රීඩා සම්මානය වෙනුවෙන් නිර්දේශ කර ඇති ලැයිස්තුවට රංගන හේරත් මෙන්ම විරාට් කෝලි, ස්ටීවන් ස්මිත්, ජේම්ස් ඇන්ඩර්සන් සහ යෂීර් ෂා නිර්දේශ වී ඇත. මීට අමතරව දශකයේ එක්දින ක‍්‍රීඩකයා සම්මානයට ලසිත් මාලිංගවද නම් කර ඇති අතර ඔහුට අමතරව ඉන්දියාවේ විරාට් කෝලි, රෝහිත් ෂර්මා සහ ඔස්ටේ‍්‍රලියාවේ මිචෙල් ස්ටාර්ක්, දකුණු අප‍්‍රිකාවේ ඒ.බී.ඩිවිලියර්ස් මෙන්ම මහේන්ද්‍ර සිං දෝනිද ඇතුළත්ව තිබේ.
දශකයේ විස්සයි විස්ස ක‍්‍රීඩකයා සම්මානය වෙනුවෙන් විරාට් කෝලි, ලසිත් මාලිංග, රෂීඞ් ඛාන්, ඉම්රාන් තහීර්, ආරොන් ෆින්ච්, සහ ක‍්‍රිස් ගේල් නිර්දේශව තිබේ. අදාළ සම්මාන සඳහා වු නාම යෝජනා පිළිබඳ අවසන් ලැයිස්තුව ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලය විසින් ඊයේ ප‍්‍රකාශයට පත් කළේය.
මීට අමතරව ජීව ගුණය හිමි ක‍්‍රිකට් සම්මානයට පිරිමි සහ කාන්තා දෙඅංශයම එක් කාණ්ඩයට ඇතුළත් කර ඇති අතර ඒ අනුව මහේල ජයවර්ධන, විරාට් කෝලි, කෙන් විලියම්සන්, බ්‍රෙන්ඩන් මැකලම්, මිස්බා උල් හක්, ආනයා ශබ්සෝල්, කැතරින් බෲනට්, ඩැනියෙල් විටෝරි අදාළ ලැයිස්තුවට ඇතුළත්ව තිබේ.
අයි.සී.සී.ය විසින් 2010 වසරේ සිට 2019 වසර දක්වා වු කාල සීමාවේදී ජාත්‍යන්තර ක‍්‍රිකට් පිටියේ කැපී පෙනන දක්ෂතා දැක්වු ක‍්‍රීඩකයන් කිහිප දෙනකු ලැයිස්තු ගත කරමින් මෙම දශකයේ ක‍්‍රිකට් සම්මානය සඳහා නිර්දේශ නාම ඉදිරිපත් කර ඇති අතර එහිදී ඉන්දියානු ක‍්‍රිකට් නායක විරාට් කෝලි සෑම අංශයකම සම්මාන සඳහා නිර්දේශ වීම විශේෂත්වයකි. මෙම සම්මාන ලබාදීම ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ ගෞරවයට පාත‍්‍ර වුවන් මෙන්ම ක‍්‍රිකට් රසිකයන් විසින් ලබාදීමට නියමිත අතර එම දිනය ඉදිරියේදී දන්වනු ලබයි.