සෙරීනා විලියම්ස් අවසන් 16 අතරට යද්දී විනස් විලියම්ට ගෙදර යන්නට සිදුවේ – video

ඔස්ට්‍රේලියානු විවෘත ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් තරඟාවලියේ සිය 24 වැනි කිරුළ හඹා යන ඇමරිකාවේ සුපිරි ක්‍රීඩිකාව වන සෙරීනා විලියම්ස් එක පිට එක වට දෙකකින් ලකුණු 6-2 ක් හා 6-1ක් ලෙස යුක්රේනයේ යොවුන් ක්‍රීඩිකා ඩයනා යැස්ට්‍රිම්ස්කා තරඟාවලියෙන් ඉවතට තල්ලු කර  දමමින් අවසන් 16 නා අතරට රිංගා ගත්තාය. මේ අතරවාරයේදී හත් වතාවක් ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාව දිනා ඇති සෙරීනාගේ වැඩිමල් සොයුරිය වන විනස් විලියම්ස් පිට පිට වට දෙකකින් තරඟාවලියෙන් එළියට ඇද දැමීමට ලෝක ටෙනිස් ශේණිගතකිරීම් වලට නොම්මර එකේ ක්‍රීඩිකාව වන රුමේනියාවේ සිමෝනා හිල්ප් සමත් විය. ඒ ලකුණු 2-6 ක් සහ 3-6 ක් වශයෙනි.

සෙරීනා විලියම්ස්ට අවසන් 16 දෙනාගේ වටයේදී තරඟ වැදීමට සිදුවන්නේ සිමෝනා හිල්ප් සමඟ වීම විශේෂ කාරණාවකි. සෙරීනා මේවනවිට ලෝක ටෙස්ට් ශේණිගතකිරීම් වල පසුවන්නේ 16 වන ස්ථානයේයී. තම සොයුරිය පරාජය කිරීමේ වාඩුව ගැනීමට ඇති අවස්ථාවක් ලෙසද ඊලඟ තරඟය හැඳින්විය හැක.
මින් අවුරුදු දෙකකට පෙර මාස දෙකක ගැබිණියක්ව ලෙස පැමිණ සිය 23 වැනි ග්‍රෑන්ඩ් ස්ලෑම් කුසලානය දිනාගත් 37 හැවරදි සෙරීනා මෙවර සිය අටවැනි ඔස්ට්‍රේලියානු ටෙනිස් කිරුළ දිනාගනු ඇතැයි ඔට්ටුකරුවන් පවසයි. ඇය බුකීකරුවන්ගේ ජනප්‍රිතම ක්‍රීඩිකාව බවටද  පත්ව සිටින්නීය.
“මට පුළුවන් උපරිම අයුරින් ක්‍රීඩා කරලා ඉහළම දස්කම් දක්වන්නයි මම මෙහේ ආවේ” සෙරීනා පැවසුවාය. 1999 වසරේදී ඇය ඇමරිකානු විවෘත ටෙනිස් පිටියේදී සිය මංගල ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාව දිනා ගනිද්දී ඊයේ(19) ඇය අතින් පරාජයට පත්වූ ඩයනා යැස්ට්‍රිම්ස්කා ජන්මයවත් ලබා නැත. 18 හැවරදි යොවුන් ක්‍රීඩිකාව සිය පරාජයෙන් පසුව කඳුළු සලන්නට පටන් ගත් අතර “අඬන්න ඒපා. ඔයා විශිෂ්ඨ අයුරින් ක්‍රීඩා කළා. ඔයාට කවදා හරි හරියයි” සුපිරි ක්‍රීඩිකාව වන සෙරීනා ඇයව සැනසුවාය.
මේ යොවුන් ක්‍රීඩිකාව යැස්ට්‍රිම්ස්කා සෙරීනා සමඟ තරඟයේදී පළමු වටයේදී දෙවතාවක්ම දරාගත නොහැකි පහරවල් කිහිපයක්ම සෙරීනාට එල්ල කරමින් ප්‍රේක්ෂකයන් අමන්දානන්දයට පත් කල අතර “ඇය ඉතා හොඳින් තරඟ වැදුනා කියලයි මං හිතන්නේ” සෙරීනා තරඟයෙන් අනතුරුව පැවසුවාය. එනමුත්  එවැනි තර්ජනයක් සෙරීනාට ගෙන දුන්නත් යැස්ට්‍රිම්ස්කාව පරාජය කිරීම ඇයට ගත වුනේ මිනිත්තු 27ක් පමණි.

සෙරීනා විලියම්ස් සමඟ ඩයනා යැස්ට්‍රිම්ස්කා හා විනස් විලියම්ස් සමඟ සිමෝනා හිල්ප් තරඟ වල විශේෂ අවස්ථා පහළින් 

https://www.youtube.com/watch?v=L1Jz3-7AjSI

සටහන : නුවන් ජයතිස්ස