ක‍්‍රිකට් ගොඩදාන හැටි මාස තුනෙන් පෙන්වනවා, තිලංග ගියපාර ඡන්දෙට ආවේ බයෙන්! – ජයන්ත ධර්මදාස

තිලංග ගිය පාර ඡන්දෙට ආවේ බයෙන්. මගේ ඡන්ද නිසා දිනුවා කියලා එයා පිළිගත්තා

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් යනු වර්තමානයේ ජාත්‍යන්තරයේම කළු පැල්ලමට ලක්ව තිබෙන ක‍්‍රීඩාවකි. දුෂණය, වංචාව, පාවාදීම් සහ ක‍්‍රිකට් ක‍්‍රීඩකයන්ගේ දක්‍ෂතා එළියට නොපැමිණීම ආදි සියලූ කරුණු කාරණා ඔස්සේ මෙරට ක‍්‍රිකට් නන්නත්තාර වී හොට බිම ඇනගෙන ඇත. ඩොලර් කඳු ගණන් මුදල් එන ක‍්‍රිකට් එසේ බංකලොත් වන්නේ පරිපාලන ව්‍යුහයේ කුමක් හෝ දෝෂයක් නිසාය.

යස ඉසුරින් පිරි ක‍්‍රිකට් ඉතිහාසයක් මෙරටට තිබුණි. නමුත් දැන් අයි.සී.සී.ය පවසන පරිදි සිම්බාබ්වේටත් අන්ත ලෙස ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ‘කුජීත’ වී තිබේ. එවැනි පසුබිමක තවත් සති තුනකින් හෙවත් ලබන 07 වැනිදා ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් නිලවරණය පැවැත්වීමට අවශ්‍ය කරුණ 75% ක් මේ වන විට අවසන් වී තිබේ. මෙතරම් හෙම්බත්ව පණ අදිමින් සිටින ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් යළි ජාත්‍යන්තරයේ ඔසවා තබන්නට පාර්ශ්ව දෙකක් බලය උරගා බැලීමේ සටනකට පැමිණ තිබේ ඒ සියලූ දෙනාම ක‍්‍රිකට් පරිපාලනයේ හිටපු ‘ඔස්තාර්ලා’ පිරිසකි. නමුත් මෙරට ක‍්‍රිකට් වෙනුවෙන් සද්භාවයෙන් වසර ගණනාවක් පරිපාලනයට දායක වූ ජයන්ත ධර්මදාස මහතා නැවුම් බලාපොරොත්තුවකින් නිලවරණ සටනට පැමිණ තිබේ.

ජයග‍්‍රහණය ගැන 100% ක් විශ්වාස තබන ජයන්ත ධර්මදාස මහතා ආගිය ක‍්‍රිකට් පරිපාලනයේ කලකිරීම් සහ මාස තුනකින් ඔහු යළිත් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ඔසවන බවට පූර්ණ විශ්වාසයකින් නිලවරණ සටන අරඹා තිබේ. මේ ඔහු සමග ‘ඉරිදා දිවයින සංග‍්‍රහය’ කළ කතාවයි.

ප‍්‍රශ්නය – ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් නිලවරණයේ සභාපතිවරයා වශයෙන් ඔබ මෙවර තරග වදින්නේ ඉකුත් නිලවරණයේදී ඔබ සිටි පාර්ශ්වයට විරුද්ධව. මේ වෙනස සමග ඔබේ ජයග‍්‍රහණය විශ්වාසද?

පිළිතුර – සියයට සියයක්ම ජයග‍්‍රහණය ගැන මට විශ්වාසයි. ඒ ගැන සැකයක් නැහැ.

ප‍්‍රශ්නය – මෙතරම් විශ්වාසයකින් ඔබ තරග කරන්න හේතුව කුමක්ද?

පිළිතුර – මම ඉන්න කාලයේ කරලා තියෙන වැඩ සම්බන්ධයෙන් බලාගෙන යන කොට මට ජයග‍්‍රහණය ගැන සැකයක් නැහැ. මට නිලවරණයට ඡන්දය ඉල්ලන්න එන්න කිව්වෙත් ක‍්‍රීඩා සමාජ නියෝජිතයන්ම තමයි. ඒ විතරක් නෙමෙයි හිටපු ක‍්‍රීඩකයන් සහ වර්තමාන ක‍්‍රීඩකයන් මාව හමුවෙලා මේ තත්ත්වයෙන් ගොඩ එන්න නැවත ක‍්‍රිකට් පරිපාලනයට එන්න කියන ආරාධනාව කළා. ඒ නිසා ක‍්‍රිකට් වෙනුවෙන් මම වැඩ කරලා තියෙන නිසා බය නැතිව නිලවරණයට එනවා. ඒක තමයි මට ජයග‍්‍රහණයට තියෙන විශ්වාසය.

ප‍්‍රශ්නය – ක‍්‍රිකට් වැටීම ආරම්භ වුණේ 2015 වසරෙන් පස්සෙ. දැන් එහි උච්චතම අවස්ථාවට පත්වෙමින් තියෙනවා. මේකට පරිපාලනය වගකිව යුතුයි කියලා ඔබ පිළිගන්නවාද? ඔබත් 2015 න් පස්සෙ ක‍්‍රිකට් පරිපාලනයේ හිටියා.

පිළිතුර – අනිවාර්්‍යයෙන්ම පරිපාලනය වගකිව යුතුයි. හැබැයි දැන් ක‍්‍රිකට් වැටිලා තියෙන තත්ත්වයට වග කියන්න ඕන කවුද කියන එක මුළු රටම දන්නවා. පසුගිය කාලයේ මම උපසභාපතිවරයා වශයෙන් ඉන්න වෙලාවේ කරන්න එපා කියපු දේවල් කළා. මේ තත්ත්වයට වැටෙන්න පෙර පිළියමක් කළේ නැහැ. බැරිම තැන මම අයින් වුණා.

ප‍්‍රශ්නය – ඔබ එදා සුමතිපාල පරිපාලනයෙන් අයින් වුණේ කළකිරීමකින්ද නැතිනම් වැඩ කරන්න බැරි නිසාද?

පිළිතුර – මම ක‍්‍රිකට් වෙනුවෙන් ඕනෑ තරම් වැඩ කරපු කෙනෙක්. මම කියන දේවල්

පිළිගන්නෙ නැතිව ඒ අයට ඕන විදිහට වැඩකරන කොට මම දැක්කා ඉදිරියට වෙන විනාශය. ඒ නිසා මම කලකිරීමකින් ඉන්නවාට වඩා අයින් වෙන එක හොඳ නිසා මම ඉවත් වුණා. නමුත් මම ඉන්න කාලයේ කතා කරපු දේවල් කිසි දෙයක් වුණේ නැහැ.

ප‍්‍රශ්නය – වැටී තිබෙන ක‍්‍රිකට් නැගිට්ටවන්න පුළුවන් ශක්තිය ඔබ ඇතුළු කණ්ඩායමට තියෙනවා කියන විශ්වාසයට සාක්ෂි මොනවද?

පිළිතුර – මම 2005 – 2006 ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් භාර ගන්න වෙලාවේ අපි හිටියේ එක්දින ශ්‍රේණිගත කිරීම්වල හත්වැනියා. අද වගේ ලෝක කුසලානට සුදුසුකම් ලැබීමේ තරගාවලියක් තිබ්බනම් අපිට එදා සුදුසුකම් ලැබීමේ තරගාවලියට සහභාගි වෙන්න වෙනවා. නමුත් අපි ක‍්‍රීඩකයන්ට අවශ්‍ය දේවල් දීලා 2007 ලෝක කුසලානයේදී අනුශූරයන් බවට පත් වුණා. අපි එහෙමයි ක‍්‍රිකට් වලට වැඩ කරලා තියෙන්නෙ.

ප‍්‍රශ්නය – තිලංග සුමතිපාල මහතා ක‍්‍රිකට් නිලවරණයට ඉදිරිපත් නොවුණත් ඔහුගේ අනෙකුත් පාර්ශ්වයන් තමයි ඔබේ ප‍්‍රතිවාදීන් වෙලා තියෙන්නෙ. ක‍්‍රිකට් නිලවරණයකදී සුමතිපාල පාර්ශ්වය පරද්දන්න බැහැ කියන මතය ඔබ මෙවර වෙනස් කරනවාද?

පිළිතුර – කවුද කියන්නෙ පරද්දවන්න බැහැ කියලා. සුමතිපාල පාර්ශ්වය ගිය පාර ඡන්දයට එන්න කොච්චර බයක් තිබ්බද. ඒ අය කිව්වා මම නිසා තමයි ඡන්දය දින්නෙ කියලා. මම ඡන්ද කීයක් ගත්තද. සුමතිපාල පාර්ශ්වයෙන් කියක් ගත්තද කියලා එදා පේන්න තිබ්බා. ඒ අය දිනුවෙත් මම ගත්ත ඡන්ද නිසා තමයි. හැමෝම ඉස්සරහ සුමතිපාල මහත්තයා කියලත් තියෙනවා මම නිසා තමයි ඡන්දය දිනා ගත්තෙ කියලා.

ප‍්‍රශ්නය – ඔබ ක‍්‍රිකට් නිලවරණයට තරග කරන්න එන්නෙ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් නන්නත්තාර වී තිබෙන යුගයක. මේක ගොඩදාන වැඩපිළිවෙල දැන් සකස් කරලා ඉවරයිද?

පිළිතුර – කිසිම ප‍්‍රශ්නයක් නැතිව ක‍්‍රිකට් ගොඩ දමන වැඩපිළිවෙලක් සකස් කරලා ඉවරයි. අපි ඇවිල්ලා මාස තුනකින් බලන්න ශ‍්‍රී ලංකාවේ ක‍්‍රිකට් කොතැනද තියෙන්නෙ කියලා.

ප‍්‍රශ්නය – ක‍්‍රිකට් නිලවරණය තියෙන්නෙ පෙබරවාරි 7 වැනිදා. ඊට පස්සෙ මාස තුනකින් ලෝක කුසලාන ඇරඹෙනවා. කොහොමද ඔබේ පාර්ශ්වය ජය ගතහොත් ගනු ලබන කෙටි කාලීන විසඳුම.

පිළිතුර – ඔව් අපිට පළමුවෙන්ම තියෙන්නෙ ලෝක කුසලාන කණ්ඩායම හොද තැනකට ගේන එක. අපි ජය ගැනීමෙන් පසුව පළමු තැන දීලා තියෙන්නෙ ලෝක කුසලාන ගැන. ඒකට පළමු තැන දීලා ඊට පස්සෙ තමයි අපි දෙවැනි තෙවැනි අදියරවල් ක‍්‍රියාත්මක කරන්නෙ. ලෝක කුසලානයෙන් පස්සෙ අපි ජාත්‍යන්තර මට්ටමේ විස්සයි විස්ස ප‍්‍රිමියර් ලීග් තරගාවලියක් පවත්වන්නත් සූදානම්. හැබැයි පළමු මාස තුනේ සම්පුර්ණම ඔළුව වෙහෙසන්නෙ ලෝක කුසලාන වෙනුවෙන්.

ප‍්‍රශ්නය – ඔබ කලින් නිශාන්ත රණතුංග පාර්ශ්වය සමග ක‍්‍රිකට් පරිපාලනයේ හිටපු කෙනෙක්. ඊට පස්සෙ තිලංග සුමතිපාල පාර්ශ්වයේ හිටියා. නමුත් දැන් යළිත් ඔබේ පාර්ශ්වයෙන් නිශාන්ත රණතුංග තරග වදිනවා. මෙතනත් ඔබට වැඩ කරන්න පුළුවන් කියන විශ්වාසය තියෙනවද?

පිළිතුර – මම තිලංග සුමතිපාල මහතා සමගත් වැඩ කරලා තිබ්බනේ. මෙතනදි කවුද ඉන්නෙ නැත්තෙ කියන එක මට වැදගත් නැහැ. මම හැමදාම හිතුවෙ ක‍්‍රිකට් ගැන විතරයි. අපි ක‍්‍රිකට් ගැන හිතලා වැඩ කරන්න සූදානම්.

ප‍්‍රශ්නය – කේ.මතිවානන් මහතාත් ඔබේ පාර්ශ්ශවයේ උප සභාපතිවකු ලෙස තරග වදිනවා. ඒ කියන්නෙ තිලංග පාර්ශ්වයේ කොඳුනාරටි ඔබ එකතු කරගෙන වගේ.

පිළිතුර – ඔව් මතිවානන් අපිත් එක්ක තරග කරනවා. විශේෂයෙන් අපි දැනටමත් ක‍්‍රිකට් ගොඩ නැගීමේ වැඩ සැලැස්ම හදලා ඉවරයි කියලා මම කිව්වනෙ. මම ක‍්‍රිකට් පරිපාලනයේ ඉන්න කාලයේ කරපු වැඩසටහන්. පුහුණුකරුවන්ට කරපු දේවල් සහ ක‍්‍රීඩකයන් වෙනුවෙන් කළ දේවල් ගොඩක් තියෙනවා. ඒවා ඉදිරියට තවත් පුළුල් ලෙස ව්‍යාප්ත කරමින් ක‍්‍රීඩා සමාජ මට්ටමින් සහ දිස්ත‍්‍රික්, පළාත් මට්ටමින් අපේ ක‍්‍රිකට් හොඳ ව්‍යුහයක් සකස් කරනවා.

සාකච්ඡා කළේ – අසේල විතාන ( දිවයින මාධ්‍යවේදී ඉරිදා සංග්‍රහය )