ශ‍්‍රී ලංකා ටෙස්ට් කඳවුරට නවකයන් ගෙන්වයි

දකුණු අප‍්‍රිකාව සමග ලබන මස ආරම්භ වීමට නියමිත ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලිය සඳහා පල්ලකැලේදී ඊයේ ආරම්භ කරන ලද පුහුණු සැසියට නවක ක‍්‍රීඩකයන් කිහිප දෙනෙකුම ඇතුළත් කර තිබේ. එහිදී කිසිදු ජාත්‍යන්තර තරග ක‍්‍රීඩා නොකළ ක‍්‍රීඩකයන්ද ඇතුළත්ව සිටීම විශේෂත්වයකි.
21 හැවිරිදි වියේ පසුවන සන්තුෂ් ගුණතිලකද පුහුණු සංචිතයට ඇතුළත් කර ඇති අතර ඔහු ශාන්ත පීතර විදුහල නියෝජනය කරමින් ශ‍්‍රී ලංකා යොවුන් කණ්ඩායමද නියෝජනය කර තිබේ. කෝල්ට්ස් ක‍්‍රීඩා සමාජය නියෝජනය කරන සන්තුෂ් පළමු පෙළ තරග 9 කදී ශතක 2 ක් සහ අර්ධ ශතක හතරක් සමග මුළු ලකුණු 680ක් ලබා ඇති අතර එහි සාමාන්‍ය 45.33 කි.
මීට අමතරව හුංගම විජේබාහු විදුහල නියෝජනය කළ 20 හැවිරිදි ඩිල්ෂාන් මධුෂංකද 21 දෙනකුගෙන් යුත් සංචිතයට කැඳවා තිබේ. ඔහු දකුණත් මඳ වේග පන්දු යවන්නෙක් වන අතර පළමු පෙළ තරග තුනකදී කඩුලූ 10 ක් බිඳ දමා තිබේ. ශ‍්‍රී ලංකා යොවුන් කණ්ඩායමද නියෝජන කළ මොහු කෝල්ට්ස් ක‍්‍රීඩා සමාජය නියෝජනය කරනු ලබයි.
එක්දින සහ විස්සයි විස්ස තරගවලදී තුන් ඉරියව්වෙන්ම දක්ෂතා දැක්වූ වනිඳු හසරංගද සංචිතයට එක්ව ඇති අතර ඔහු බොහෝ දුරට අවසන් 15 දෙනා අතරට එක්වීමට නියමිතව සිටින ක‍්‍රීඩකයෙකි. හසරංග එක්දින තරග 15 කදී කඩුලූ 17 ක්ද විස්සයි විස්ස තරග 13 කදී කඩුලූ 16 ක්ද බිඳ දමා තිබේ. තුන් ඉරියව් ක‍්‍රීඩකයකු වන වනිඳු හසරංග පළමු පෙළ තරග 36 කදී ශතක තුනක් සහ අර්ධ ශතක හයක් සමග ලකුණු 2222 ක්ද කඩුලූ 76 ක්ද බිඳ දමා ඇත.
ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම දෙසැම්බර් මස දෙවැනි සතියේදී දකුණු අප‍්‍රිකාව බලා පිටත් යෑමට මේ වන විට සැලසුම් කර ඇත. එහිදී දින හතක නිරෝධානයකට යටත්වන ශ‍්‍රී ලංකා කණ්ඩායම ලබන මස 20 වැනිදා දකුණු අප‍්‍රිකානු ආරාධිත කණ්ඩායම සමග බෙනෝනි හිදී තෙදින තරගයකට සහභාගි වේ.
දෙරට අතර ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලිය ලෝක ටෙස්ට් ශූරතාවට අයත් ටෙස්ට් තරගාවලියක් වන අතර පළමු තරගය ලබන මස 26 වැනිදා සෙන්චුරියන්හිදී පැවැත්වේ. දෙවැනි තරගය ජනවාරි මස 03 වැනිදා ජොහැනස්බර්ග් හිදී ආරම්භ වීමට නියමිතව ඇත.
නම් කරන ලද සංචිතයේ 15 දෙනකු හෝ 16 දෙනකු දකුණු අප‍්‍රිකානු ටෙස්ට් තරගාවලියට සහභාගි වීමට නියමිත අතර එම සංචිතය මෙම පුහුණු සැසියෙන් පසුව නම් කිරීමට නියමිතය.
ශ‍්‍රී ලංකා ටෙස්ට් සංචිතය
දිමුත් කරුණාරත්න (නායක), ඕෂධ ප‍්‍රනාන්දු, ළහිරු තිරිමාන්න, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, කුසල් පෙරේරා, නිරෝෂන් දික්වැල්ල, ධනංජය ද සිල්වා, දසුන් ශානක, මිනෝද් භානුක, සන්තුෂ් ගුණතිලක, වනිඳු හසරංග, ඩිල්රුවන් පෙරේරා, ලසිත් ඇඹුල්දෙණිය, සුරංග ලක්මාල්, ළහිරු කුමාර, විශ්ව ප‍්‍රනාන්දු, කසුන් රාජිත, අසිත ප‍්‍රනාන්දු, දුෂ්මන්ත චමීර, ඩිල්ෂාන් මධුෂංක