අප් කන්ටි‍්‍ර ලයන්ස්ට ජය

මාස 05 ක් තිස්සේ විවේක ගන්නවා තිබුණු දේශීය පාපන්දු ක‍්‍රීඩකයන් නැවත වතාවක් තරග බිමට ඒකරාශි කරමින් ක‍්‍රියාත්මක කෙරෙන ශ‍්‍රී ලංකා සුපර් ලීග් පාපන්දු තරගාවලියේ 15 වැනි තරගය ඊයේ (29දා) සවස කොළඹ සුගතදාස ක‍්‍රීඩාංගණයේ දී පැවැත්වුණු අතර එහිදී ගෝල් 02-00 ක ජයග‍්‍රහණයක් වාර්තා කර ගැනීමට නාවලපිටිය අප් කන්ටි‍්‍ර ලයන්ස් පිල සමත් විය.
ඒ ”ඩිෆෙන්ඩර්ස්” පිලට එරෙහිව පැවති තරගයේ දී ය.

ශ‍්‍රී ලංකා ජාතික කණ්ඩායමේ අංක එකේ දැල රකින්නා වන සුජාන් පෙරේරා නාවලපිටිය අප් කන්ටි‍්‍ර ලයන්ස් පිල වෙනුවෙන් ද, ශ‍්‍රී ලංකා ජාතික කණ්ඩායමේ අංක දෙක දැල රකින්නා වන නුවන් ගිම්හාන ඩිෆෙන්ඩර්ස් පිල වෙනුවෙන් ද ගෝල් රැුකීමේ කාර්යයේ නිරතවීම මෙම තරගයේදී කැපී පෙනුණි.

අපේක්ෂා කළ පරිදිම මෙම තරගය ආරම්භයේ සිට අවසානය දක්වාම උණුසුම් මුහුණුවරක් ඉසිලීය. ශ‍්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කළ ක‍්‍රීඩකයන් කිහිප දෙනකුම දෙ පිල නියෝජනය කිරිම හේතුවෙන් තරගයේ උණුසුම වඩාත් තීව‍්‍ර විය. එහි ප‍්‍රතිඵලයක් ලෙස විටින් විට දෙපිලම ආක‍්‍රමණශීලී ක‍්‍රීඩා රටාවක නිරත වූ අතර තවත් අවස්ථාවක ප‍්‍රබල ආරක්ෂාකාරී ක‍්‍රීඩා රටාවක නිරත වන අයුරක් ද පෙනෙන්නට තිබුණි.

එහෙත් තරගයේ ප‍්‍රථම භාගය නිමා වන විට ගෝල් 01-00 ක් ලෙස පෙරමුණ ගැනීමට සමත් වු අප් කන්ටි‍්‍ර ලයන්ස් පිල දෙවන භාගය නිමා වීමට මිනිත්තු 04 ක කාලයක් තිබියදී තම දෙවන ගෝලය වාර්තා කරමින් 02-00 ක ජයග‍්‍රහණයක් සටහන් කර ගත්තේය.

මෙහි පළමු ගෝලය 27 මිනිත්තුවේ දී ” ඕන් ගෝලය” ක් ලෙස ප‍්‍රතිවිරුද්ධ ක‍්‍රීඩකයකුගේ අත්වැරදීමකින් ලැබීම කැපී පෙනුණි. 86 වැනි මිනිත්තුවේදී කලීඞ් අස්මිල් දෙවන ගෝලය රැුස් කළේය.

මෙම තරගය නිවෝන් රොබේෂ් මහතා විසින් විනිශ්චය කරන ලදී.

අනුරුද්ධ හේරත් බණ්ඩාර