ශ්‍රී ලංකාව ලෝක ශූරතා පිහිනුම් තරගාවලියෙන් හැලෙන පෙත්සමක්

ලෝක ශූරතා කෙටි දුර පිහිනුම් තරගාවලියට යන ශ්‍රී ලංකා පිලේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් කවුරුන්ද යන්න පිළිබඳ ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමයත්, ජාතික තේරීම් කමිටුවත් අතර අවසන් එකඟතාවක් නැති වීමෙන් ශ්‍රී ලංකාවට ශූරතාවලිය නියෝජනය කිරීමේ අවස්ථා අහිමී වී යන තත්ත්වයක් නිර්මාණය වෙයි. ලබන මස 16 වැනිදා ලෝක ශූරතා කෙටි දුර පිහිනුම් ශූරතාවලිය අබුඩාබි එතිහාඩ් අරීනා ජල ක්‍රීඩා සංකීර්ණයේදී ආරම්භ වන අතර, ඒ සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 4ක සහභගීත්වයට ලෝක ජල ක්‍රීඩා සංගමය ශ්‍රී ලංකාවට අවස්ථාව ලබාදී ඇත. එහෙත් තවමත් මේ සඳහා සහභාගීවන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ නාම ලේඛනය ලෝක ජල ක්‍රීඩා සංගමය වෙත ලබාදීමේ අවස්ථා උදා වී නැත.

පසුගිය වසර දෙකක කාලය පුරා කොරෝනා අර්බුද හේතුවෙන් ශ්‍රී ලංකාවේ පිහිනුම් තරග පැවැත්වීමට නොහැකි වූ හෙයින් 2019දී දක්වන ලද දක්ෂතා සැලකිල්ලට ගෙන නාම ලේඛනය සකස් කිරීමට ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමය කටයුතු යොදා තිබිණි. ඒ සඳහා ජල ක්‍රීඩා සංගමයේ තාක්ෂණික කමිටුවේ හා ජල ක්‍රීඩා තේරීම් කමිටුවේ පුර්ණ එකගතාව ලැබී තිබියදී ජාතික තේරීම් කමිටුවට තේරීම් සම්බන්ධ පෙත්සමක් ලැබී ඇති අතර, එය විභාග වෙමින් පැවැතීම නාම ලේඛනය ප්‍රසිද්ධ කිරීමට බාධාවක් වී තිබේ.

ලෝක ශූරතා කෙටි දුර පිහිනුම් තරගාවලියට ශ්‍රී ලංකාවෙන් සුදුසුකම් ලබාගත් එකම ක්‍රීඩකයා වන මැතිව් අබේසිංහ කොරෝනා හේතුවෙන් නිසි පුහුණුවක් ලබා නැති බව පවසා මේ පිහිනුම් ශූරතාවලියට සහභාගී නොවන බව කලින්ම පැවැසීම හේතුවෙන් සුදුසුකම් නොලැබූ හොඳම ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිව් දෙනකුට අවස්ථාව ලබාදීම උදෙසා ප්‍රමුඛතා ලැයිස්තුවක් අනුව ක්‍රීඩක ක්‍රීඩිකාවන් 8කගේ නම් මීට මාස දෙකකට පමණ පෙර ජාතික තේරීම් කමිටුවට ලබාදී ඇත.

මේ නාම ලේඛනය සම්බන්ධව ජාතික තේරීම් කමිටුවට යොමු වූ පෙත්සම විමර්ශනය කිරීමේදී නාම ලේඛනය සැකසූ ආකාරය හා ලකුණු දීමේ ක්‍රමවේදය වැනි කරුණු සම්බන්ධ තොරතුරු ගණනාවක් ජල ක්‍රීඩා සංගමයෙන් ඉල්ලා ඇති අතර, එම සියලු තොරතුරු ලබාදී තිබියදී මේ ප්‍රමාදය සිදුවන බව ජල ක්‍රීඩා සංගමයේ ප්‍රකාශකයකු ‘දිනමිණ‘ට පැවැසීය. එමෙන්ම ජල ක්‍රීඩා සංගමය විසින් ලෝක ශූරතා කෙටි දුර පිහිනුම් ශූරතාවලියට වඩාත් සුදුසු යැයි නම් කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිව්දෙනා ලෝක සංගමය පිළිගන්නේද යන්න ජාතික තේරීම් කමිටුව විමසා ඇති අතර, මේ හේතුවෙන් එම නම් හතර සඳහා ලෝක සංගමයේ අනුමැතියක් ද ලබා ඇතැයි එම ප්‍රකාශකයා සඳහන් කළේය.

ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමය ලබාදුන් නාමලේඛනයට ජාතික තේරීම් කමිටුවේ අනුමැතිය හිමිවීමෙන් පසුව එය ජාතික ක්‍රීඩා සභාව අනුමත කළ යුතු හෙයින් මේ ක්‍රියාවලියට තවත් දින ගණනාවක් ගතවනු ඇතැයි පැවැසේ. පාසල් වයසේ පසුවන ක්‍රීඩක ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිව්දෙනකු ලෝක ශූරතා කෙටි දුර පිහිනුම් ශූරතාවලියට සහභාගි වන හෙයින් අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමැතිය ලබා ගැනීම තවත් අවශ්‍යතාවකි. එමෙන්ම කොරෝනා අර්බුදය යළිත් උත්සන්න වෙමින් පවතින හෙයින් ගුවන් ප්‍රවේශපත්‍ර වෙන්කර ගැනීමේ දුෂ්කරතාවලට මුහුණදීමට සිදුවන නිසා කල් ඇතිව පිහිනුම් ක්‍රීඩක ක්‍රීඩිකා නාමලේඛනය ලබාගත යුතුව ඇතැයි ජල ක්‍රීඩා සංගමය ජාතික තේරීම් කමිටුවට පවසා ඇත.