රග්බි අනුශුරයන්ට නැවියන් පහර දෙයි

අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ තෙවැනි සතිය යටතේ පැවැති තරගයකින් ඉකුත් අනුශුර හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය පරාජයට ඇද දැමූ නාවික හමුදාව එම තරගයෙන් ලකුණු 25-14 ක ජයක් වාර්තාකර ගත්තේය.
වැලිසර නාවික හමුදා පිටියේ පැවැති මෙම තරගයෙන් සත්කාරක නාවික හමුදාව උත්සාහක දිනුම් තුනක්, ගෝල ප්‍රවර්තන දෙකක්, දඩුවම් පහරක් සහ ඩ්‍රොප් ගෝලයක් මගින් සිය ලකුණු රැස්කරන අතරවාරයේ ආගන්තුක හැව්ලොක්ස් ක්‍රීඩකයන්ට සාර්ථක කරගත හැකිවූයේ උත්සාහක දිනුම් දෙකක් සහ ගෝල ප්‍රවර්තනයන් දෙකක් පමණි.
තරගයේ ක්‍රියාත්මක 10 වැනි මිනිත්තුවේදී ලකුණු පුවරුව ක්‍රියාත්මක කළ හැව්ලොක්ස් කණ්ඩායම උත්සාහක දිනුමක් සහ ගෝල ප්‍රවර්තනයක් සමගින් ලකුණු 7-0 ක ඉදිරියක් ලබාගත්තේය. අනතුරුව ඊට කදිම පිළිතුරක් ලබාදුන් නැවියෝ තවත් විනාඩි 5 ක් ගතවීමටත් මත්තෙන් උත්සාහක දිනුමක් සහ ගෝල ප්‍රවර්තනයක් සාර්ථක කරගනිමින් ලකුණු 7-7 ක් ලෙස හැව්ලොක්ස් හා සමතැන් ගත්තේය.
කෙසේ නමුත් පළමු භාගය නිමාවනවිට හැව්ලොක්ස් ලකුණු තත්ත්වය 7 න් නැවතූ නැවියෝ තවත් උත්සාහක දිනුම් දෙකක් ගෝල ප්‍රවර්තනයක් සහ දඩුවම් පහරක් මගින් සිය ලකුණු තත්ත්වය 22 ක් දක්වා ඉහළ නංවා ගත්තේය.
කෙසේ නමුත් දෙවැනි භාගයේදී ජයග්‍රහණය සදහා සටනක් දීමට අපොහොසත් වූ හැව්ලොක්ස් පිල ඉදිරියේ උත්සාහක දිනුමක් සහ ගෝල ප්‍රවර්තනයක් පමණක් සටහන් වූ අතර දෙවැනි භාගයේදී වාර්තාකරන ලද ඩ්‍රොප් ගෝලයත් සමග නැවියෝ සිය ජය තහවරුකර ගත්තේය.

සී.එච් හමුවේ සී.ආර්. ඇද වැටෙයි

ලකුණු 11-7 ක් වශයෙන් පළමු භාගයේ ලබාගත් ඉදිරිය ජයග්‍රහණය තෙක් පවත්වාගත් සී.එච්. ඇන්ඩ් එප්.සී. කණ්ඩායම සී.ආර්. ඇන්ඩ් එප්.සී. සමග පැවැති තරගයෙන් ලකුණු 19-12 ක ජයක් වාර්තාකර ගත්තේය.