හෂාන් තිලකරත්න යොවුන් කණ්ඩායම උඩට ගෙන යන හැටි කියයි

ශ‍්‍රී ලංකා යොවුන් කණ්ඩායම බංග්ලාදේශයේ සංචාරයක් සඳහා පිටත් වූ අතර එහිදී ඔවුන් එක්දින සහ ටෙස්ට් තරග ක‍්‍රීඩා කිරීමට නියමිතය. අදාළ සංචාය ලෝක කුසලානට පෙරහුරුවක් බවත් දකුණු අප‍්‍රිකාවේ තණතීරු ගැන වැඩි අවධානයක් යොමු කරමින් මේ තරගාවලියට කණ්ඩායම සූදානම් වන බවත් ප‍්‍රධාන පුහුණුකරු හෂාන් තිලකරත්න පවසයි.
‘‘ඇත්තටමබ බංග්ලාදේශ තරගාවලිය හොඳ දෙයක්. ශ‍්‍රී ලංකාව නියෝජනය කරන ක‍්‍රීඩකයන් සමග ක‍්‍රීඩා කිරීමෙන් ලැබෙන වැදගත්කම යොවුන් ක‍්‍රීඩකයන්ගේ දියුණුවට ඉතාමත් වැදගත්. ඒ අවස්ථාව ලබාදීම සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් සහ වෙළෙඳසේවා සංගමයට ස්තුති වන්ත වෙනවා. වෙළෙඳ සේවා තරගාවලියේදී ජාතික කණ්ඩායමේ ක‍්‍රීඩකයන්ව මුණ ගැසෙමින් ක‍්‍රීඩා කිරීම තුළින් ලොකු අත්දැකීමක් ඔවුන් ලැබුවා. ඒ වගේම දකුණු අප‍්‍රිකාවේ අන්තිම මාස තුනේදී වාර්තාවක් ගන්නවා. අපි වේග පන්දු යවන්නන්ට උචිතයි කියලා හිතුවත් පෙබරවාරි වන විට තණතීරු වෙනස් වෙනවා. ඒ අනූව අපි වාර්තාවක් අරගෙන තමයි කණ්ඩායම තෝරන්නෙ.’’ යනුවෙන් හෂාන් තිලකරත්න පැවසීය.
යොවුන් කණ්ඩායමේ නායකයාද ඉතාමත් සුබවාදීව බංග්ලාදේශ තරගාවලිය සම්බන්ධයෙන් අදහස් දැක්වීය.
‘‘බංග්ලාදේශ සංචාරය ලැබීම ලොකු දෙයක්. ලෝක කුසලාන වැනි තරගාවලි ඉලක්කයකට යන අවස්ථාවේ අපේ වැරදි හදාගන්න හොඳ අවස්ථාවක්. අපි පසුගිය මාසයක කාලයේදී හොඳ පුහුණු සැසිවල නිරත වුණා. ඒ වගේම වෙළෙඳ සේවා තරගාවලිය ක‍්‍රීඩා කරන්න ලැබීමත් ලොකු අත්දැකීමක් වුණා. මේ කණ්ඩායමත් සමග ලෝක කුසලානට යන්න අපි බලාපොරොත්තු වෙනවා. දකුණු අප‍්‍රිකාවේ තියෙන ලෝක කුසලාන වෙනුවෙන් එහෙ තණතීරුවලට හැඩ ගැහෙන්න අපිට බලාපොරොත්තු වෙනවා.’’ යැයි යොවුන් කණ්ඩායමේ නායක නිපුන් ධනංජය පැවසීය.