තරඟ පරදින විටත් උඩ යන හතුරුසිංහගේ වැටුප

2017 වසරේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති වරයා වශයෙන් කටයුතු කල තිලංග සුමතිපාල මහතා එවකට බංගලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුවා ලෙස කටයුතු කල චන්දික හතුරුසිංහ මහතාව ශ්‍රී ලංකා කණ්ඩායම් පුහුණුකරු ලෙස කැන්දාගෙන එන අතර හතුරුසිංහ මහතා බංගලාදේශ ක්‍රිකට් ආයතනය සමඟ තිබූ ගිවිසුම ද හදිසියේ අවලංගු කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම හා එක් වුණා.

ඒ සඳහා තිලංග සුමතිපාල පාර්ශ්වය හතුරුසිංහ මහතාට ඉහලම වැටුපක් ගෙවීමට කටයුතු කරන අතර 2017 වසරේ අවසන් භාගයේදී ඔහු මෙරටට පැමිණෙන විට ඔහුගේ වැටුප සැළකුණේ ලෝකයේ ජාතික ක්‍රිකට් කණ්ඩායමක පුහුණුකාරුවෙකුට ගෙවන තෙවැනි විශාලතම වැටුප වශයෙනි. එම වැටුප තෙවැනි වූයේ එංගලන්තයේ ට්රෙවර් බේලීස් ට හා ඉන්දියාවේ රවී ශාත්‍රිගේ වැටුපට පමණි.
මේ අතර ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයන් සම්භන්ධව වාර්ෂිකව සකස් කරන දත්ත හා ඇගයුම් වාර්ථාව සඳහා චන්දික හතුරුසිංහ මහතා ඇමරිකානු ඩොලර් 60,000 ක මුදලක් අය කර තිබේ. එය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලදාරී ඈෂ්ලි ද සිල්වා මහතා ගෙවීම් අනුමත කර ඇති බව තහවුරු වේ.
කණ්ඩායමක ක්‍රීඩකයන්ගේ දත්ත හා තොරතුරු විශ්ලේෂණය යනු පුහුණුකරුට අයත් කාර්යභාරයේ කොටසකි. වර්ථමානයේ ඕනෑම කණ්ඩායමක ක්‍රීඩකයන්ගේ දත්ත හා තොරතුරු විශ්ලේෂණය සඳහා වෙනම නිලධාරියකු පත් කර තිබේ. එසේ තිබියදී ප්‍රධාන පුහුණුකරු තමාට අයත් කාර්යයන් වෙනුවෙන් අතිරේකව මුදල් ලබා ගැනීම ඉතා අප්‍රසන්නය.
ඉතාමත් කම්පිත කාරණාව නම් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති තිලංග සුමතිපාල මහතා විසින් චන්දික හතුරුසිංහ මහතාගේ සේවය ලබා ගැනීමේදී ඔහු සමඟ ඇතිකර ගත් සේවා ගිවිසුමට අනුව හතුරුසිංහ මහතා විසින් වාර්ෂිකව ඉහත සඳහන් කල ආකාරයේ ක්‍රීඩකයන්ගේ ඇගයුම් හා දත්ත වාර්ථා දෙකක් ලබා දිය යුතුය. එම වාර්ථා සඳහා ඇමරිකානු ඩොලර් 60,000 බැගින් හතුරුසිංහ මහතාට ක්‍රිකට් ආයතනය මගින් ගෙවනු ලැබේ. ඒ අනුව චන්දික හතුරුසිංහ මහතාට ගෙවනු ලබන ඉහළම මාසික වැටුපට හා ඊට සම්භන්ද පහසුකම් වලට අමතරව ඔහු වාර්ෂිකව තවත් ඩොලර් 120,000ක් ක්‍රිකට් ආයතනයෙන් ලබා ගනී. එය රුපියල් දෙකෝටියකට වඩා වැඩිය.
මෙය පිළිකුලකි. ජාතික අපරාධයකි. මෙම නාස්තිකාර මුදල් වලින් ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගත ආයෝජනයකට යොදා ගත හැක. ලංකාවේ ග්‍රාමීය පාසැල්  වල ඉතාමත් දක්ෂ ක්‍රීඩකයන් ඇත ඔවුන්ට ඉදිරියට ඒමට නොයෙකුත් බාධක තිබේ ආර්ථික ගැටලුව ඉන් එකක්‍ ය. ක්‍රිකට් නැංවීමට තව කිරීමට බොහෝ දේ ඇත.
එසේ තිබියදී මෙතරම් අති විශාල මුදලක් හතුරුසිංහ මහතාට ගෙවීම් කලත් ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රගතියක් දක්නට නොලැබීම කනගාටුවට කරුණකි. 2017 දෙසැම්බර් මාසයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ වගකීම භාර ගැනීමෙන් හතුරුසිංහ මහතා සුදු අලියකු බවට පත් වී තිබේ. මසකට මිලියන 6ක වැටුපක් ලැබුවත් එළඹෙන විස්සයි විස්ස  ලෝක කුසලානය සඳහාඳ නිතරඟයෙන් තරඟ කිරීමට තිබූ අවස්ථාවද මෙවර ශ්‍රී ලංකාවට අහිමි වීම කණගාටුවට කරුණකි. එපමනක් නොව මෑතකකදී නිමාවට පත්වුන නවසීලන්ත සංචාරයද ඉතාම දියාරු සංචාරයක් බවට පත් වුනේ කාගේ වරදින් ද යන්න කල්පනා කළ යුතු වේ. ඇෆ්ගනිස්ථාන ජාතික ක්‍රිකට් කණ්ඩායමට පවා අප පසු කරයෑමට තරම් ශ්‍රී ලංකා කණ්ඩායම මෙතරම්  පසු බැස ඇත්තේ ඇයිදැයි අප කල්පනා කරන්නෙමු.!
සටහන : නුවන් ජයතිස්ස