ශ්‍රී ලංකා “ඒ” පිලේ මිලින්ද – අවිශ්ක ශතක ලබති

මේ දිනවල පැවැත්වෙන සංචාරක අයර්ලන්ත “ඒ” කණ්ඩායම හා ශ්‍රී ලංකා “ඒ” කණ්ඩායම අතර පැවැත්වෙන තරඟ කාලසටහනේ නිළ නොවන පළමු එක්දින තරඟය ඊයේ (19) හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ජ්‍යාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත් වුණා.

එම තරඟයෙන් ලකුණු 60ක පහසු ජයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා ඒ කණ්ඩායම සමත් වූ අතර ජයග්‍රහණය සඳහා ලකුණු 366ක ඉලක්කයක් හඹා ගිය අයර්ලන්ත ඒ කණ්ඩායමට ඕවර් 48 පන්දු 02 කදී සියළු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 305ක් පමණි.

කාසියේ වාසිය දිනාගත් අයර්ලන්ත “ඒ” කණ්ඩායමේ නායක හැරී ටෙක්ටර් ශ්‍රී ලංකා කණ්ඩායමට ප්‍රථමව පන්දුවට පහර දීමට ආරාධනා කළ අතර ඉන් උපරිම වාසිය ලබාගත් ශ්‍රී ලංකා පිතිකරුවන් සිය පන්දු ඕවර 50 අවසානයේදී කඩුලු 5ක් දැවී ලකුණු 365ක් ලබාගත්තා.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අවිශ්ක ප්‍රනාන්දු  පන්දු 120 කට මුහුණ දෙමින් හයේ පහරවල් 05ක් සහ හතරේ පහරවල් 11ක් ද සමඟින් ලකුණු 128ක් ද , මිලින්ද සිරිවර්ධන පන්දු 75ක් තුල හයේ පහරවල් 03ක් සහ හතරේ පහරවල් 11ක් සමඟ වේගවත් ලකුණු 111ක් හා නායක උපුල් තරංග පන්දු 78ක් තුල ලකුණු 66ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් කරලීමට දායකත්වය සැපවූවා. උපුල් තරංග හා අවිශ්ක ප්‍රනාන්දු පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 161ක සම්භන්ධ තාවයක් ගොඩනැගූ අතර මිලින්ද සිරිවර්ධන හා අවිශ්ක ප්‍රනාන්දු අතර දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 75ක් තුල වේගවත් ලකුණු 91ක සම්භන්ධ තාවයක් ගොඩනගා ගැනීමට සමත් වූවා.

ඉන් අනතුරුව පිළිතුරු ඉනිම ඇරඹූ අයර්ලන්ත ඒ කණ්ඩායමට ශක්තිමත් ආරම්භයක් ලබා ගැනීමට හැකිවූයේ නැහැ. අයර්ලන්ත පළමු කඩුල්ල ලෙස මුළු ලකුණු 22 ක්ව සටහන්ව තිබියදී මැකලම් දැවී ගිය අතර මුළු ලකුණු 40 දී ස්ටුවර්ට් තොම්සන් දැවී ගියා.ඉන් අනතුරුව පිටියට පිවිසි ලෝකන් ටකර් දක්ෂ ලෙස පන්දුවට පහර දෙමින් ජේම්ස් ශැනොන් හා එක්ව තුන්වන කඩුල්ල සඳහා ලකුණු 99ක සම්භන්ධ තාවයක් ගොඩනගමින් අයර්ලන්ත කණ්ඩායම සටන්කාමී මට්ටමකට රැගෙන එනු ලැබුවා. ඉන්පසු නායක ටෙක්ටර් හා ලෝකන් ටකර් එක්ව  හතර වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 87ක සබඳතාවයක් ගොඩ නැගූ අතර ඉන් අනතුරුව පිටියට පිවිසි කිසිම ක්‍රීඩයකුට අයර්ලන්ත කණ්ඩායමේ පරාජය වලක්වා ගත නොහැකි තත්වයක් උදාවුනා. ලෝකන් ටකර් පන්දු 86 කදී හයේ පහරවල් 03ක් හා හතරේ පහරවල් 13ක් සමඟින් වේගවත් ලකුණු 109ක් රැස් කගත් අතර ජේම්ස් ශැනොන් පන්දු 67 කදී ලකුණු 67ක් ලබා ගත්තා.
පන්දු යැවීමේදී ඉෂාන් ජයරත්න ලකුණු 39ක් ලබාදී කඩුලු 03ක් ද අසිත ප්‍රනාන්දු හා ඉසුරු උදාන කඩුලු දෙක බැගින් දවා ගත්තා. තරඟ පහකින් සමන්විත තරඟාවලිය 1-0 ක් ලෙස ශ්‍රී ලංකා “ඒ” කණ්ඩායම පෙරමුණේ පසුවෙනවා.



සටහන : නුවන් ජයතිස්ස