ඔලිම්පික් නිලවරණයට පෙර ජල ක‍්‍රීඩා පරිපාලනයට ‘ලොක්කෝ’ දෙන්නෙක් එයි

හිස්ව පවතින ශ‍්‍රී ලංකා ජල ක‍්‍රීඩා සංගමයේ සභාපති සහ ලේකම් තනතුරු සඳහා සුදුසු පුද්ගලයන් දෙදෙනකු පත්කර ගැනීමට ක‍්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා අනුමැතිය ලබාදී තිබේ.
අදාළ සභාපතිවරයා සහ ලේකම්වරයා ජල ක‍්‍රීඩා විධායක කමිටු සාමාජිකයන් දෙදෙනකු විය යුතු වන අතර ලබන මැයි මාසය වන තෙක් ජල ක‍්‍රීඩා නිලවරණයක් නොපවැත්වීම හේතුවෙන් මෙම පත්කිරීම් සිදුකිරීමට නියමිතය.
ජල ක‍්‍රීඩා සංගමයේ ප‍්‍රධාන නිලධාරීන් දෙදෙනකුට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් විධායක කමිටු සාමාජිකයන් විසින් ගෙන ඒමට සූදානම් කර තිබියදී එහි සභාපතිවරයා සහ ලේකම්වරයා ඉල්ලා අස්විය. පසුගියදා පැවැති දකුණු ආසියා ජල ක‍්‍රීඩා සංගමයේ විය හියදම් සම්බන්ධයෙන්ද සවිස්තර වාර්තාවක් විධායක කමිටුව විසින් ඉල්ලා අස්වූ සභාපති සහ ලේකම්ගෙන් ඉල්ලා සිටියදී ඔවුන් ඉවත්වීම විශේෂත්වයකි.
දැනට ජල ක‍්‍රීඩා සංගමයේ උප ලේකම් ලෙස මහින් ලියනගේ මහතා කටයුතු කරන අතර සභාපති තනතුර සඳහා විධායක කමිටු සාමාජිකයන් වන ඊ.ජී.විල්සන්, එම්.යම්පත්, ක‍්‍රිෂාන් දුමින්ද, ජී.එස්.ඞී. දයානන්ද සහ සංහර්ෂ ජයතිස්ස යන මහත්වරුන්ගෙන් කෙනෙකු පත්වීමට යෝජිතව තිබේ.