මේස පන්දු තරගාවලියේදී සෙනුර සහ බිමන්දීගෙන් දස්කම්

ක්‍රීඩක ක්‍රීඩිකාවන් 280කගේ සහභාගිත්වයෙන් බණ්ඩාරගම මේස පන්දු සම්මේලන පුහුණු මධ්‍යස්ථාන ක්‍රීඩාගාරයේ දී පැවැති ජාතික කනිෂ්ඨ ශූරතා මේස පන්දු තරගාවලියේ අවුරුදු 15න් පහළ බාලක ශූරතාව දිනා ගැනීමට කොළඹ ආනන්ද විද්‍යාලය නියෝජනය කළ සෙනුර සිල්වා සමත් වූ අතර, බාලිකා ශූරතාව මහනුවර හිල්වුඩ් විද්‍යාලය නියෝජනය කළ බිමන්දී බණ්ඩාර දිනා ගත්තාය. අවුරුදු 15න් පහළ බාලක අනුශූරතාව ලයිසියම් ජාත්‍යන්තර පාසලේ දෙව්මෙත් වීරසේනට හිමි වූ අතර, එහි බාලිකා අනුශූරතාව කෑගලු බාලිකා විදුහලේ චමීෂා තුෂාදී සතු විය.

මේ දෙදෙනා මෙවර ජාතික කනිෂ්ඨ ශූරතා මේස පන්දු තරගාවලියට අයත්වූ ඉහළම වයස් සීමාව යටතේ තරග කරමින් අවුරුදු 18න් පහළ බාලක සහ බාලිකා ශූරතාව තහවුරු කර ගැනීමට සමත් වීම විශේෂත්වයකි. අවුරුදු 18න් පහළ බාලක අවසාන තරගයේදී සෙනුර සිල්වා හමුවේ වට 3 – 0ක් ලෙස පරාජය වූ කොළඹ ආනන්ද විද්‍යාලයේම හිරුණ වරුෂවිතානට අනුශූරතාවයෙන් සෑහීමට සිදු විය. බිමන්දී බණ්ඩාර හමුවේ තරග වට 3 – 1 කින් පරාජය ලැබූ කොළඹ කාන්තා විද්‍යාලයේ අයිලා චිට්ටීට අනුශූරතාව හිමි විය.

අවුරුදු 12න් පහළ බාලක ශූරතාව දිනා ගැනීමට ලයිසියම් ජාත්‍යන්තර පාසල නියෝජනය කළ දෙව්මෙත් වීරසේන සමත්වූ අතර, කොළඹ මියුසියස් විද්‍යාලයේ සදින්තී ජයසිංහට බාලිකා ශූරතාව හිමි විය. අවුරුදු 10 න් පහළ බාලක ශූරතාව මහනුවර විද්‍යාර්ථ විදුහල නියෝජනය කළ අගස්ති ආනන්දිත දිනා ගන්නා අතර, අම්බලන්ගොඩ දේවානන්ද විද්‍යාලය නියෝජනය කළ අනුගී ඔනාරා බාලිකා ශූරතාවය හිමි කර ගත්තාය