අධිවේගී පාපැදි සවාරියේ පළමු දහයම එකටම එයි

මධ්‍යම අධිවේගි මාර්ගයේ දෙවැනි අදියර වන මීරිගම සිට කුරුණැගල දක්වා කොටස ජනතා අයිතියට පත් කිරීමට සමගාමීව ක්‍රීඩා අමාත්‍යාංශයේ හා ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ පූර්ණ අධීක්ෂණය යටතේ මහාමාර්ග අමාත්‍යාංශය සංවිධාන කළ ප්‍රධානතම එලයිට් පිරිමි රේසිං පාපැදි තරගයේ පළමු ක්‍රීඩයන් දස දෙනාම තරග සමාප්ති රේඛාවේ උඩ එකම වේලාවට තරගය නිම කළ හෙයින් ජයග්‍රාහකයන් තේරීම රුපවාහිනී පුනරූපණ පරීක්ෂාවෙන් පසුව සිදු වෙයි. ඒ අනුව එලයිට් පිරිමි රේසිං පාපැදි තරගයේ පැය 1:51.35කින් නිම කළ ක්‍රීඩකයන් 10ක් අතුරින් ශ්‍රී ලංකා යුද හමුදාවේ නිරාන් පසිදු අධිවේගී මාර්ග පාපැදි ජයග්‍රාහකයා ලෙස නම් කෙරිණි. එම වේලාවම සටහන් කළ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සංජු දීමන්ත දෙවැනියා ලෙසත් කුරුණෑගල ෆන් බී ක්‍රීඩා සමාජයේ චාමික සඳුන් කුමාර තෙවැන්නා ලෙසත් තෝරා ගැනිණි.

අධිවේගී මාර්ගයේ මීරිගම පිවිසුමේදී ආරම්භ වූ මේ තරගය කුරුණැගල දක්වා ගොස් යළිත් මීරිගමට පැමිණ නිමා වූ අතර, දුර කිලෝමීටර් 80ක් විය. එලයිට් පිරිමි රේසිං පාපැදි තරගයේ සාමාන්‍ය වේගය පැයට කිලෝමීටර් 43.11ක පමණ වූ අතර, එම දුර සීමාවේම පැවති එලයිට් කාන්තා රේසිං තරගය පැයට කිලෝමීටර් 30.50ක දළ වේගයකින් ගමන් කළේය. එලයිට් කාන්තා රේසිං තරගයේ පළමු හා දෙවැනි ස්ථාන පැය 2:37.34කින් නිම කරමින් පිළිවෙළින් ශ්‍රී ලංකා යුද හමුදාවේ නිමේෂා දිල්රුක්ෂි හා ගුවන් හමුදාවේ ඉමල්කා චමෝදිනී දිනා ගත්හ. එම කාන්තා තරගයේ තෙවැනි ස්ථානය දිනාගත් ශ්‍රී ලංකා යුද හමුදාවේ මධුමාලී ප්‍රනාන්දු පැය 2:46.39කින් සටහන් කළාය.

ආරම්භයේ සිට කණ්ඩායමෙන් මිදී උපරිම වේගයකින් ක්‍රීඩකයන්ට නිදහසේ මාර්ග තදබදයකින් තොරව තරග කිරීමට ලැබූ ප්‍රථම අවස්ථාව මෙය වූ අතර, ශ්‍රී ලංකාවේ අධිවේගී මාර්ගයක් පාපැදි ධාවන තරගයක් පැවැත්වූ පළමු අවස්ථාව ලෙස මෙය ඉතිහාසයට එක් විය. ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ බලපත්‍රලාභී සියලු රේසිං කාණ්ඩයේ තරගකරුවන්ට මේ තරග සඳහා සහභාගී වීමට දැනුම් දීම සිදු කෙරුණේ දින 5කදී වීම විශේෂත්වයකි.

පාපැදි තරගකරුවන්ට පොදුවේ ආධාර කළ හැකි වාහන දෙකක් තරග ආරම්භයේ සිට අවසානය දක්වා ගමන් කළ අතර, වෙනත් කිසිදු වාහනයකට තරගය සමඟ ගමන් කිරීමේ අවස්ථාව උදා නොවිණි. ශ්‍රී ලංකාවේ පාපැදි තරගකරුවන් ශ්‍රේණිගත කිරීමේ ඉහළින්ම සිටින ක්‍රීඩකයන් ඇතුළු තරගකරුවන් 270ක් මේ තරගවලට එක්ව සිටි හෙයින් ආරම්භයේ සිට සෑම තරගයක්ම උණුසුම් මුහුණුවරක් ගත්තේය. පළමු ක්‍රීඩකයන් 10ක් බැගින් තෝරා ගෙන පළමු ස්ථානයට රුපියල් ලක්ෂයක්, දෙවැනි ස්ථානයට 75,000ක් හා තෙවැනි ස්ථානයට රුපියල් 50,000ක් ආදී වශයෙන් දස වැනි ස්ථානය දක්වා ත්‍යාග පිරිනැමීමට කටයුතු යොදා තිබිණි.

තරග ප්‍රතිඵල :

එලයිට් පිරිමි රේසිං පාපැදි තරගය (කිලෝමීටර් 80):

1. නිරාන් පසිඳු – යුද හමුදාව, 2. සංජු දීමන්ත – ගුවන් හමුදාව, 3. චාමික සදුන් කුමාර – ෆන් බී ක්‍රීඩා ස., 4. චමෝද් ද සිල්වා – වරාය, 5. මධූප ආකේෂ් – යුද හමුදාව, 6. ජීවන් ජයසිංහ – ගුවන් හමුදාව, 7. රන්දික රණසිංහ – යුද හමුදාව, 8. සුපුන් ප්‍රදීප් කුමාර – යුද හමුදාව, 9. අවිෂ්ක මැඩොන්සා – යුද හමුදාව, 10. පසිදු ලක්ෂාන් – නාවික හමුදාව

(මේ ක්‍රීඩකයෝ 10 දෙනා පැය 1:51.35කින් තරගය නිමා කළහ.)

එලයිට් කාන්තා රේසිං පාපැදි තරගය (කිලෝමීටර් 80):

1. නිමේෂා දිල්රුක්ෂි – යුද හමුදාව (පැය 2:37. 34), 2. ඉමල්කා චමෝදිනී – ගුවන් හමුදාව (පැය 2:37. 34), 3. මදුමාලී ප්‍රනාන්දු – යුද හමුදාව (පැය 2:46.39), 4. සුධාරිකා ප්‍රියදර්ශනී – ගුවන් හමුදාව (පැය 2:46.39), 5. ශාලිකා දිල්හානී – යුද හමුදාව (පැය 2:46.39), 6. ඈන් ෂෙනාලී – ද ෆ්‍රෙන්ඩ්ස් (පැය 2:46.39), 7. අකාශා සඳමාලී – යුද හමුදාව (පැය 2:46.41), 8. නිලූකා ශ්‍යාමලී – සිවිල් ආරක්ෂක (පැය 2:46.41), 9. උදේශිනී කුමාරසිංහ – යුද හමුදාව (පැය 2:46.41), 10. එච්.එම්.ඩී. හේරත් – යුද හමුදාව (පැය 2:46.41).

කනිෂ්ඨ රේසිං පාපැදි තරගය (කිලෝමීටර් 80):

1. තරංග ප්‍රනාන්දු – ගෝල්ඩන් ක්‍රීඩා ස. (පැය 2:09.01), 2. එල්.ඩී. තවීන්ත – ෆන් බී ක්‍රීඩා ස. (පැය 2:09.01), 3. උදිත රුමේෂ් – කදිරාන ක්‍රීඩා ස. (පැය 2:09.01), 4. රුවන් ශ්‍රී බණ්ඩාර – ස්ටැන්ලි ලේපෝ ක්‍රීඩා ස. (පැය 2:09.01), 5. සචින් උමේෂ් – කදිරාන ක්‍රීඩා ස. (පැය 2: 09. 01), 6. චමත් අභීෂේක් – නිදහස් ක්‍රීඩා ස. (පැය 2:09.01), 7 මීමනගේ පෙරේරා – වින්ග් වීල් ක්‍රීඩා ස. (පැය 2:09.01), 8.සංගීත් ප්‍රියශාන්ත් – කටාන ෆ්‍රීඩම් ක්‍රීඩා ස. (පැය 2:14.26), 9. ෂෙකීම් හෙවාන් – ස්පීඩ් ඇරෝ ක්‍රීඩා ස. (පැය 2:14.26), 10. ජනක රවීන්ද්‍ර – වෙනුපුර ස්පීඩ් ක්‍රීඩා ස. (පැය 2:14.26).