කාන්තා පිල පොදු රද මඬුලු විස්සයි20ට සුදුසුකම් ලබයි

චමරි අතපත්තුගේ විශිෂ්ට තුන්ඉරියව් දස්කම් හේතුවෙන් ඊයේ මැලේසියාවේදී ප්‍රබල බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 22කින් පරාජය කළ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල මේ වසරේ පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උලෙළේ විස්සයි20 කාන්තා ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමට සමත් විය.

මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර කින්රාරා පිටියේ පැවැති සුදුසුකම් ලැබීමේ තරගාවලියේ තීරණාත්මක තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල ඕවර 20 නිමා වන විට කඩුලු 6ක් දැවී ලකුණු 136ක් රැස් කළ අතර, ජයග්‍රහණය හඹා ගිය බංග්ලාදේශ පිතිකාරිනියන් දැඩි පීඩනයට හසු කරමින් ජයග්‍රහණය අත්කර ගත්තේ ඕවර 20 අවසානයේ ප්‍රතිවාදී ඉනිම ලකුණු 114කට සීමා කරමිනි. මේ තරගයත් සමඟ සුදුසුකම් ලැබීමේ තරගාවලියේ අපරාජිතව ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා පිල සමත් විය.

තරගාවලිය පුරා ලකුණු අතරේ සිටි ශ්‍රී ලංකා පිලේ නායිකා චමරි අතපත්තු පන්දු 28කදී හතරේ පහර 6ක් සහ හයේ පහර 3ක් සමඟ ලකුණු 48ක් රැස් කිරීමට සමත් වූ අතර, නිලක්ෂි ද සිල්වා පන්දු 25කදි ලකුණු 28ක් රැස් කළේ හතරේ පහරක් සහ හයේ පහරක් සමගිනි. අනුෂ්කා සංජීවනී පන්දු 16කදී හතරේ පහරක් සමඟ නොදැවී ලකුණු 20ක් රැස් කළාය.

ආරම්භයේ සිටම බංග්ලාදේශ පිතිකාරිනියට දැඩි පීඩනයක් එල්ල කළ ශ්‍රී ලංකා පිලේ පන්දු යවන්නියන් ආක්‍රමණශීලී පන්දු යැවීමක නිරත වූ අතර, මුර්ෂිඩා කාතුන් සහ ෆර්ගානා හක් දෙවැනි කඩුල්ලට ගොඩ නගමින් සිටි සම්බන්ධතාව ලකුණු 68කදී නිමාවට පත් කරමින් තරගයේ පාලනය සියතට ගැනීමට ශ්‍රී ලංකා පිල සමත් වූයේ ලකුණු 36ක් ලබා සිටි මුර්ෂිඩා කඩුල්ල මුවා කිරීමේ වරදට හසු කරගැනීමට චමරි සමත් වීමත් සමගය. අනතුරුව නායිකා නිගාර් සුල්තානාගේ ඉනිම ලකුණු 20කට සීමා කළ චමරි ඉනිමේ අවසන් ඕවරය යවමින් සිය තුන්වැනි කඩුල්ල ලෙස රිතූ මෝනි දවාලීමට සමත් වූවාය. ලකුණු 33ක් ලබා සිටි ෆර්ගානා හක් එම ඕවරයේදීම දුවද්දී දැවීයෑමට හසු විය. යොවුන් ක්‍රීඩිකා සචිනි නිසංසලා, ඉනෝකා රණවීර සහ කවීෂා දිල්හාරි ප්‍රතිවාදී පිතිකාරිනියන්ට දැඩි තර්ජනයක් එල්ල කරමින් අනගි පන්දු යැවීමක නිරත වූහ.

තරගයේ වීරයා සම්මානය මෙන්ම තරගාවලියේ වීරයා සම්මානයත් දෙකම දිනාගනු ලැබුවේ චමරි අතපත්තු විසිනි.

මේ වසරේ මැද භාගයේදී එංගලන්තයේ බර්මින්හැම් නුවර පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උලෙළේ කාන්තා විස්සයි20 තරගාවලියට සත්කාරක එංගලන්තය සමඟ ඔස්ට්‍රේලියාව, බාබඩෝස්, ඉන්දියාව, පාකිස්තානය, නවසීලන්තය සහ දකුණු අප්‍රිකාව සෘජුවම සුදුසුකම් ලබා සිටි අතර, මැලේසියාවේදී පැවැති සුදුසුකම් ලැබීමේ තරගාවලිය පැවැත්වූයේ ඊට එක් වන අවසන් කණ්ඩායම තෝරා ගැනීම වෙනුවෙනි.

ශ්‍රී ලංකා කාන්තා පිල – 136/6 (ඕවර 20) චමරි අතපත්තු 48, නිලක්ෂි ද සිල්වා 28, අනුෂ්කා සංජීවනී නොදැවී 20, හර්ෂිතා මාධවී 19 (නහීඩා අක්තර් 34/2)

බංග්ලාදේශ කාන්තා පිල – 114/5 (ඕවර 20) මුර්ෂිඩා කාතුන් 36, ෆර්ගානා හක් 33, නිගාර් සුල්තානා 20 (චමරි අතපත්තු 17/3)