වැඞ්ඩෙක් වෙන හැටි වනිඳු හසරංග කියයි

ක‍්‍රිකට් ක‍්‍රීඩාවේදී වැඞ්ඩෙක් වීමට දක්ෂතාව තිබිය යුතුය. එය තමාට කිරීමට නම් තරග දිනවන්නකු ලෙස කැපී පෙනෙන ක‍්‍රීඩාවක නිරත විය යුතු බව 22 හැවිරිදි වනිඳු හසරංග පවසයි. කොදෙව්වන් පරාජය කිරීමේදී පෙරමුණ ගත් වනිඳු හසරංග තරගයේ වීරයා සම්මානය දිනා ගැනීමෙන් පසුව මෙසේ පැවසීය.
‘ ජාතික කණ්ඩායමේ මට පන්දුවට පහර දෙන්න වෙන්නෙ අංක 6, 7 හෝ 8 ස්ථානවල. මට තරගයක් ඉවර කරන්න පුළුවන් කියන විශ්වාසය පළමු පෙළ තරගවලදී ලබා ගත්තා. ක‍්‍රීඩා සමාජ තරග වුණත් එතනදි මගේ ඔළුවට ආවා තරග දිනවන්න පුළුවන් කියන එක. තරග අවසන් කළ හැකි අයකුට දිගු කාලයක් ක‍්‍රීඩාවේ නියැලෙන්න පුළුවන්. මටත් අවශ්‍ය ඒ වගේ තරග දිනවන්නකු විදිහට කණ්ඩායමට සේවය කිරීමටයි.’’ වනිඳු හසරංග වැඩිදුරටත් පැවසීය.
‘‘මමයි තිසරයි ගහන වෙලාවේදි වහින ගතියකුත් තිබුණා. ඒ නිසා ඩක්වර්ත් ලූවිස් න්‍යාය අනූව ලකුණු 10 ක් ඉදිරියෙන් තියාගන්න තමයි ප්ලෑන් කළේ. එතනදි කඩුලූ විසි නොකර පිතිකරණයේ යෙදෙන්න අපි උත්සහ කළා. ඒ නිසා තමයි තරගය ලෙහෙසියෙන්ම මට ඉවර කරන්න පුළුවන් වුණේ.’’ පන්දු 39 කදී දැවැන්ත හයේ පහරක් සහ හතරේ පහර හතරක් සමග නොදැවී ලකුණු 42 ක් ලබා ගත් හසරංග පවසයි.
‘‘මම දන්නවා සඳකැන්ට පන්දුවට පහර දෙන්න පුළුවන් එයා කලින් ඒ දේ කරලා තියෙනවා. ඒ නිසා සඳකැන්ට මම කිව්වේ ඔයාගෙන් මට ලකුණු එපා ඇගෙන් ගහලා හරි මට ඔය පැත්ත ආරක්ෂා කරලා දෙන්න කියලා. ඒ නිසා මම කොයිම වෙලාවකවත් එයාට පහර දෙන්න අවස්ථාව දීමේදී බය වුණේ නැහැ.’’ යැයි හසරංග පවසන්නේ සඳකැන් සමග අවසන් නව වැනි කඩුල්ලට පිහිටවු ලකුණු 27 ක සබඳතාව තරගයේ තීරණය උඩු යටිකුරු කිරීමට හේතු වූ බව මතක් කරමිනි.
නව පුහුණුකරු මිකී ආතර් මෙන් සිය පුහුණු කාර්්‍ය මණ්ඩල සම්බන්ධයෙන් වනිඳු පවසන්නේ මෙවැන්නකි. ‘‘පුහුණුකරු මගෙන් දැකපු දේ සහ කණ්ඩායමට වෙන්න ඕන දේ නිතරම කියනවා. මැදදින් හොඳින් ලකුණු ගහන්න සහ තරග අවසන් කරන ආකාරය එයා මට කියා දෙනවා. එයා බලාපොරොත්තු වෙන්නෙත් ඒ දේවල්. ඒ වගේම පන්දු යවනකොට පුළුවන් තරම් ඩොට් බෝල් දාන්න කියලා කියනවා.’’
‘‘මට තව හදා ගන්න ගොඩක් දේවල් තියෙනවා. මම පළමු තරගය ක‍්‍රීඩා කළේ 2017 දී. මම මාස 20 ක් බලාගෙන හිටියා මේ වගේ එක දිගට අවස්ථාව ලැබෙනවා. මගේ පළමු තරගාවලියේදී සිම්බාබ්වේට එරෙහිව මම කඩුලූ 8 ක් ගත්තා. ඊට පස්සෙ බංග්ලාදේශ සංචාරයෙන් පසුව මට අවස්ථාවක් එනකම් බලාගෙන හිටියා. ඒ නිසා තමයි අන්තිම මාස හය හතේදී මම මේ තරම් සාර්ථක වුණේ. පුහුණුකරු නිකන් දේවල් කියලා දෙන්නෙ නැහැ. ඔවුන් ක‍්‍රීඩකයන්ට වෙනම කතා කරලා කියා දෙනවා මේ දේ වුණොත් වෙන්නෙ මේකයි කියලා. ඒ නිසා තමයි අපි කණ්ඩායම් විදිහට සාර්ථක වෙලා තියෙන්නෙ.’’