කුසල්ට ලොකු වන්දියක්

තහනම් උත්තේජක චෝදනාවෙන් නිදහස් වූ කුසල් පෙරේරා හට ලෝක මත්ද්‍රව්‍ය නාශක විරෝධී ඒජන්සිය (වාඩා* විසින් ඉදිරි දින කිහිපයේදී වන්දි මුදලක් ගෙවීමට නියමිතව ඇති අතර එහි අවසන් සාකච්ඡුාව මේ වන විට සිදුව ඇති බව වාර්තා වේ.
2016 වසරේදී කුසල් පෙරේරාගේ මුත‍්‍රා සාම්පලවල තහනම් උත්තේජක ඇති බවට සනාථ වුවද පසුව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය විසින් දිගින් දිගටම කුසල් පෙරේරාගේ තහනම සම්බන්ධයෙන් ගත් ක‍්‍රියා මාර්ග අනුව අදාළ මුත‍්‍රා සාම්පල පෙරේරාගේ නොවන බවට තීරණය විය. කුසල් පෙරේරාගේ මුත‍්‍රා සාම්පල සම්බන්ධයෙන් පරීක්ෂණ කළ ආයතනයේදී එය මාරුවී ඇති බවට නිගමනය වීමත් සමග අගතියට පත්වූ පෙරේරාගේ පාර්ශ්ශවය නීති මගට බැසීමට කටයුතු කළේය.
කුසල් පෙරේරාගේ මුත‍්‍රා සාම්පලව තහනම් උත්තේජක ඇති බවට නිගමනය කරමින් අයි.සී.සී.ය විසින් වසර පහක දඬුවමක් පැන වුවද ඔහුට යළිත් මාස පහක් ඇතුළත එම තහනම ඉවත් කර ගැනීමට හැකිවිය. කුසල් පෙරේරාට සිදුවූ හානිය සම්බන්ධයෙන් ඔහුගේ නීතිඥයන් විසින් ඇ.ඩො. 100,000 ක වන්දියක් ඉල්ලා නඩු මගට පිවිසියද පසුව බේරුම්කාර ක‍්‍රියා මාර්ගයකින් පසුව පෙරේරාට වන්දි මුදලක් ගෙවීමට වාඩා ආයතනයට සිදුවිය.
2016 මුල් මාස කිහිපයේදී කුසල් පෙරේරාගේ මුත‍්‍රා සාම්පලවල තහනම් උත්තේජක නොමැති බවට සනාථ කිරීම සඳහා ඔහුව පොලිග‍්‍රාෆ් පරීක්ෂණයකට යොමු කර ඇති අතර එහිදී හිස කෙස් පවා පරීක්ෂණවලට යොමුකර ඇති බව සඳහන් වේ. විවිධ තාක්ෂණික සහ විද්‍යාත්මක හේතු මත අදාළ මුත‍්‍රා සාම්පල පෙරේරාගේ නොවන බවට සොයා ගැනීමෙන් පසුව අයි.සී.සී.ය නිවේදනයක් නිකුත් කරමින් පෙරේරාගේ තහනම් උත්තේජක ඇති බවට කිසිදු සාක්ෂියක් නැති බව සඳහන් කළේය.
කුසල් පෙරේරාගේ මුත‍්‍රා සාම්පලය පරීක්ෂා කළ කටාරයේ විද්‍යාගාරය අයි.සී.සී.ය සහ වාඩා ආයතනය විසින් අසාදු ලේඛනයකට ඇතුළත් කර ඇති අතර එහි කරන ලද පරීක්ෂණ කිහිපයක්ම පසුව නිදොස් කොට නිදහස් වීමද විශේෂත්වයකි.