ලහිරු සහ චමීර දැන් වර්ල්ඩ් ක්ලාස් – වාස් කියයි

ශ‍්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන්නන් දෙදෙනා වන ලහිරු කුමාර සහ දුෂ්මන්ත චමීර තරග දිනවන වර්ල්ඞ් ක්ලාස් පන්දු යවන්නන් දෙදෙනකු බවත් ඔවුන් පන්දු යවන ආකාරයෙන් ඒ බව පෙන්නුම් කර ඇති බවත් ශ‍්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු චමින්ද වාස් මහතා පැවසීය.

පන්දු වාර විස්සයි විස්ස ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටයට ශ‍්‍රී ලංකා කණ්ඩායම මුහුණ දීමට පෙර මාධ්‍යයට අදහස් දක්වමින් චමින්ද වාස් මහතා මෙම අදහස් පවසා සිටියේය.

ඔවුන් දෙදෙනාම පැයට කිලෝමීටර් 140කට වැඩි වේගයෙන් පන්දු යවන බවත් එය ප‍්‍රතිවාදී කණ්ඩායම් වලට අනතුරු ඇ`ගවීමක් බවත් වාස් මහතා පැවසීය.

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පිලේ අන්තිම කාලයේ දෙපැත්තෙන්ම 140ට වැඩි වේගයකින් පන්දු යවන ක‍්‍රීඩකයන් දෙදෙනකු සිටියේ නැහැ. ඔවුන් දෙදෙනා ඇතැම් වේලාවට 145 වේගයෙනුත් පන්දු යවනවා. 145ට වැඩියෙන් දාන දෙන්නෙක් ඉන්නවා කියන්නේ ගොඩක් සතුටට කරුණක්. අපි බලාගෙන ඉන්නේ සුපිරි කණ්ඩායම් 12 වටයේ ඔවුන් කොයි ආකාරයෙන් පන්දු යවයිද කියලා. ඒ වගේම ඔවුන් දෙන්නා ටෙස්ට් වල කොයි ආකරයෙන්ද පන්දු යවන්නේ කියලා ආසාවෙන් බලාගෙන ඉන්නේ. ඔවුන් දෙන්නා මේ ආකරයෙන් පන්දු යැව්වොත් හො`ද දෙයක් වෙයි.

ළහිරු අපිත් එක්ක පළමු ක‍්‍රීඩකයන් 30 දෙනා අතර මුලින් හිටියා. නමුත් ඔහු 15 හිටියේ නැහැ. නමුත් මම ඔහුත් එක්ක වැඩ කළා. පන්දු යවද්දි පිතිකරුවන්ට විතරක් නොවෙයි වෙනම අරන් ගිහින් පන්දු යැව්වා. ඔහුගේ ස්කිල් එක වර්ධනය කළා. මම හිතන්නේ එයාටත් ලොකු වුවමනාවක් තිබුණා ඒ දේවල් හදාගන්න. මොකද එයා විස්සයි විස්ස තරගවල ඉතාමත් හො`දින් ක‍්‍රීඩා කරලා තිබුණේ නැහැ. නමුත් ඔහුගේ තිබුණ හැකියාවත් සෑහෙන මහන්සි වුණා. ඒ වගේම ටේ‍්‍රනර් සමගත් ඔහු ගොඩක් මහන්සි වෙලා වැඩ කළා.

ඒ වගේම දුෂ්මන්ත චමීර අන්තිම මාස අටක කාලයේ ඉතාමත් හො`දින් පන්දු යැව්වා. පන්දුව දෝලනය කළා. ඒ දේවල් ඉගෙන ගත්තා හොඳින්. ඒ වගේම ඔවුන් ගොඩක් මහන්සි වෙලා පුහුණුවීම් කරා. ඔවුන්ට අවශ්‍යතාවයක් තියෙනවා රට වෙනුවෙන් හොදට කරන්න. සම්පූර්ණයෙන්ම මේ වෙනුවෙන් ඔවුන්ට ක්‍රෙඩිට් එක යන්න ඕනේ.

අපිට ප්ලෑන් එකක් තිබුණා. වේගයත් එක්ක ඔවුන්ගේ පන්දු යැවීමේ ඉරියව්වෙ විනය ඉතාමත් හොඳින් තිබුණා.

විශේෂයෙන්ම චාමිකටත් 140ට වැඩියෙන් පන්දු යවන්න පුළුවන්. නමුත් ඔහු ගොඩක් වෙලාවට උත්සාහ කළේ පන්දුව දෝලනය කරන්න. නමුත් විශේෂයෙන්ම අපි ඔවුන්ව යොදා ගත්තේ අබුඩාබි ක‍්‍රීඩාංගණයේ එක පැත්තක් පොඩියි. ඉතින් හැමවෙලේම ඔහුට පළවෙනි පන්දුවාරය දුන්නේ චමීරගෙයි ළහිරුගෙයි පන්දුවාර ටිකෙන් හරි ප‍්‍රයෝජනය ගන්න ඕනේ නිසා.

මොන කාණ්ඩයට වැටුනත් ඒ කාණ්ඩයන්හි ක‍්‍රීඩා කරන හැම කණ්ඩායමේම දක්ෂතා එකහා සමානයි. මොන කාණ්ඩයට ගියත් අපි හො`දින් ක‍්‍රීඩා කළ යුතුයි. ඉතින් අපිට තියෙන වාසිය තමයි අපි සුදුසුකම් ලැබීමේ වටයේ තරග ක‍්‍රීඩා කරලා ඒ අත්දැකීම් එක්ක සුපිරි වටයට යෑම. ඒ අත්දැකීම් එක්ක අපි ඕනෑම කණ්ඩායමක් සමගම ක‍්‍රීඩා කිරීමට සූදානම් විය යුතුයි.

බිනුර අබාධයත් එක්ක දැන් තමයි පන්දු යවන්න පටන් ගත්තේ. ඉස්සරහට තේරීම් කමිටුව තීරණය කරයි බිනුරව කොයි ආකාරයෙන්ද යොදවා ගන්නේ කියලා.

මහේලගේ පැමිණීමත් එක්ක ගොඩක් දේවල් කණ්ඩායම ඇතුලේ සිදුවුණා. අපි ගත්තොත් මහේල ජයවර්ධන කියන්නේ ලෝකයේ ඉන්න විශිෂ්ඨතම පුහුණුකරුවෙක් දැන්. ඔහුගේ තියෙන අත්දැකීම්, ඔහු නායකයෙක් විදිහට හිතන විදිහ පුහුණුකරුවෙක් විදිහට හිතන විදිහ විශාල වෙනසක් තියෙනවා.

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පිලේ අන්තිම කාලයේ දෙපැත්තෙන්ම 140ට වැඩි වේගයකින් යවන පන්දු යවන්නෝ දෙදෙනෙක් දකින්න ලැබුණේ නැහැ. අපිට 145ට වැඩියෙන් දාන දෙන්නෙක් ඉන්නවා ඉතින් ගොඩක් සතුටුයි. අපි බලාගෙන ඉන්නේ සුපිරි කණ්ඩායම් 12 වටයේ ඔවුන් කොයි ආකාරයෙන් පන්දු යවයිද කියලා.

කුෂාන් සුබසිංහ සාජා සිට