ඊළඟ ලෝක කුසලානයේදී මීට වඩා දුරක් යන්න බලාපොරොත්තු වෙනවා – දසුන් ශානක

යම් යම් අවස්ථාවල ගත් තීරණවලින් ඇති වූ පොඩි අතපසු වීම් නිසා අවසන් පූර්ව තරග වරම් අහිමි වූවත් ශ‍්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ ක‍්‍රීඩා කළ ආකාරය පිළිබඳව සමස්තයක් ලෙස සෑහීමකට පත් විය හැකි බව ශ‍්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක   ප‍්‍රකාශ කළේය.

තරගාවලියට පැමිණීමේදී කණ්ඩායමක් ලෙස යම් ප‍්‍රශ්නවලට මුහුණ දුන්නද, සියලූ දෙනා හොඳින් ක‍්‍රීඩා කළ බවත් ක‍්‍රීඩා කළ ආකාරය පිළිබඳව සතුටු වෙන්න හැකි බවත් විශේෂයෙන් තරුණ ක‍්‍රීඩකයින් තරගාවලිය තුළ දැක්වූ දස්කම් අගය කළ යුතු බවත් දසුන් පැවසීය.

පැතුම් නිශ්ශංක සහ චරිත් අසලංක දෙදෙනා මේ තරගාවලිය තුළ මේ වනවිට වැඩිම ලකුණු ලාභීන් අතර අංක 1 සහ 2 ස්ථානවල රැඳී සිටින අතර චරිත් අසලංක තරග 6කදී ලකුණු 231ක්ද, පැතුම් නිශ්ශංක තරග 8කදී ලකුණු 221ක්ද ලබා ඇත.

පැතුම් සහ චරිත් දෙදෙනා පිළිබඳව තවදුරටත් අදහස් දැක්වූ ශ‍්‍රී ලංකා නායකයා මෙසේද ප‍්‍රකාශ කළේය.

‘‘මම විතරක් නෙමෙයි කණ්ඩායමේ පුහුණුකරුවන් සියලූ දෙනාම එයාලට කතා කරනවා. අත්දැකීම් අඩු වුණත් එයාලට විශ්වාසය ලබාදීලා තියෙනවා පිට්ටනිය මැදට ගිහිල්ල ක‍්‍රීඩා කරන්න ඕන ආකාරය ගැන. මහේල ජයවර්ධන ඉන්නකොට ඔවුන්ට හුඟක් ලේසි වුණා තමන් ක‍්‍රීඩා කරන්න ඕන ආකාරය පිළිබඳව දැනුමක් ලබාගන්න.

මේ වගේ තැනක ඒ වගේ ක‍්‍රීඩකයෝ ඇවිල්ලා දස්කම් දක්වන එක ගැන රටක් විදියට අපි ආඩම්බර වෙන්න ඕන. මොකද අපි හැම වේලේම කියනවා තරුණ ක‍්‍රීඩකයො හරියට කරන්නෙ නෑ කියලා. ඒත් අපි එහෙම කතා කරන්නෙ නැතුව දිගටම එයාලව දිරිමත් කළොත් ඉදිරියෙදි පරිණත ක‍්‍රීඩකයන් සහ තරුණ ක‍්‍රීඩකයන් එකතු කරලා හොඳ කණ්ඩායමක් හදාගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා.

ලෝක කුසලාන තරගාවලියක කණ්ඩායමක් මෙහෙයවීම අභියෝගයක් මෙන්ම තරුණ කණ්ඩායමක් ලෝක කුසලාන තරගාවලියක මෙහෙයවීමේ අභියෝගය ඊටත් වඩා අභියෝගයකි. ඒ පිළිබඳව දසුන් දැක්වූයේ මෙවැනි අදහසකි.

‘‘තරුණ කණ්ඩායමක් වුණාට මේ සේරම අපේ හිටපු ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩකයන් සමග ක‍්‍රීඩා කරලා තිබුණා. ඉතින් ඔවුන්ගෙන් ලබාගත්තු අත්දැකීම් ද ඔවුන් මේ තරගාවලියට ගෙන ආවා. තරුණ ක‍්‍රීඩකයෝ ඒ අත්දැකීම් තරගාවලියට යොදාගත්තා කියලා මම හිතනවා. අපි දැක්කා මේ ලෝක කුසලාන තරගාවලියෙදි අපි මොනවද කළේ කියලා. ඉතින් අපේ ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩකයන්ගෙන් උදව් අරගෙන, ඒගොල්ලන්ගෙ අදහස් අරගෙන, අපේ පුහුණුකරුවන් සමග වැඩ කරලා, මේ තියෙන දක්ෂතා ඔපමට්ටම් කරගෙන ඊළඟ ලෝක කුසලාන තරගාවලියේදී මීට වඩා දුරක් යන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම නායකයෝ ගොඩ දෙනෙක් එක්ක මම ක‍්‍රීඩා කළා. ලසිත් මාලිංග, ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, තිසර පෙරේරා, උපුල් තරංග. ඒ අය අත්දැකීම් අතින් ගොඩක් පරිපූර්ණ කළින් ක‍්‍රීඩා කරපු නායකයො. මම ඒගොල්ලන්ගෙන් ඉගෙන ගත්තු දේවල් ගොඩක් තියෙනවා.

මම ගොඩනැගුනෙ ඒ දෙවල් එක්ක. මම කළේ තරුණ ක‍්‍රීඩකයන්ට නිදහසේ ක‍්‍රීඩා කරන්න පුළුවන් වටපිටාවක් හදපු එක තමා. මහේල අයියත් ඇවිල්ලා මට උදව් කළා. තරුණ ක‍්‍රීඩකයන්ව

ගොඩනගන්න, එයාලට විශ්වාසය ලබාදෙන්න. මම පුළුවන් හැම වේලාවකම පුහුණු කාර්ය මණ්ඩලයට සහයෝගය ලබාදුන්නා. ඒ වගේම නායකත්වය මට කියන්නෙ බරක් නෙමේ.

අංක 06 පිතිකරු ලෙස සාමාන්‍යයෙන් පන්දුවට පහර දීමට පැමිණෙන දසුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැති තරගයේදී අංක 04 පිතිකරු ලෙස කණ්ඩායම වෙනුවෙන් පන්දුවට පහර දීමට පැමිණියේය.

මම පන්දුවට පහරදෙන ස්ථානය හැමවෙලාවෙම පාවෙන ස්ථානයක් වගේ තමයි තිබුනෙ. මම ක‍්‍රීඩා කරන ක‍්‍රීඩා සමාජය ගත්තත්, අන්තර් පළාත් තරගාවලියෙ ක‍්‍රීඩා කළත් හැමදෙනාම දැකලා ඇති මම ගොඩක් උඩින් පිතිහරඹයේ යෙදෙනවා. එතකොට එක දිගට මට ගොඩක් වෙලා පිතිහරඹයෙ යෙදෙන්න අවස්ථාව උදා වෙනවා.

ගොඩක් අය දන්නෙ නෑ මෙතනදි මම පාවෙන ක‍්‍රීඩකයෙක් විදියට ක‍්‍රීඩා කළා කියන එක. ක‍්‍රීඩා සමාජවල, එල්.පී.එල්. එකේ වගේ ස්ථාවර තැනක් මට තිබුණා නම් මගේ දස්කම් එළියට එන්න තිබුණා. ඒත් මම හැමවෙලේම කණ්ඩායමට ඕන දේ කරන ක‍්‍රීඩකයෙක්. පන්දුව අතට ගත්තත්, පිතිත්ත අතට ගත්තත්. ඒ නිසා ඉදිරියෙදිත් ලැබෙන තැන මොකක් වුණත් මගේ උපරිම දක්ෂතා පෙන්නන් මම බලාපොරොත්තු වෙනවා.ට්

කණ්ඩායම අවසන් පූර්ව තරග වටය දක්වා පැමිණියත් ශ‍්‍රී ලංකාව වෙතින් සිදු වූ අඩු පාඩු පිළිබඳව මෙන්ම දියුණු කර ගත යුතු ස්ථාන පිළිබඳවද දසුන් මෙසේ ප‍්‍රකාශ කළේය.

‘පිතිහරඹය සහ අවසන් ඕවරවලදී පන්දු යැවීම තමයි අපිට තව ටිකක් දියුණු කරගත යුතු වෙලා තියෙන්නෙ. විශේෂයෙන්ම දඟ පන්දු යවන්නන් හමුවේ පන්දුවට පහරදීමේදී මේ තරගාවලිය තුළ අපි යම් පසුබෑමක් පෙන්නුම් කරලා තියෙනවා. ඒ නිසා ඒ සම්බන්ධයෙන් අපිට විශේෂ අවධානයක් යොමු කරන්න සිද්ධ වෙනවා.

පසුගිය මාස කිහිපයේ සිටන්ම අවසන් ඕවරවලදී පන්දු යැවීමද අපිට දියුණු කරගත යුතුම අංගයක් වෙලා තිබුණා. වසර කිහිපයකට පෙර ශ‍්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ලසිත් මාලිංග සහ නුවන් කුලසේකර ඉතාමත් දක්ෂ අයුරින් අවසන් ඕවරවලදී පන්දු යැවුවා. දැන් අපිට ඉන්නවා දුෂ්මන්ත චමීර, ළහිරු කුමාර සහ බිනුර ප‍්‍රනාන්දු. ඔවුණුත් ඉදිරියේදී කණ්ඩායම වෙනුවෙන් ඒ දේ කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.’