ඉන්දියාවට යන්න ගිය කණ්ඩායම ගැන ක්‍රිකට් සභාපති දන්නෙත් නෑ.. ක්‍රීඩා ඇමැති කියයි

‌ඉන්දු ශ්‍රී ලංකා එක්දින තරගාවලියට සහභාගිවීම සදහා පසුගිය 4 වැනිදා රාතියේ ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතියෙන් තොරට කණ්ඩායමක් ඉන්දියාවට පිටත් කර හැරීමට ගත් උත්සහය සම්බන්ධව මාධ්‍ය වෙත අදහස් දක්වා ඇති ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසන්නේ කටුනායකදී ආපසු හරවා යැවූ කණ්ඩායම පිළිබදව තමන් හෝ අවම වශයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයාවත් දැන නොසිටි බවයි.
මේ පිළිබදව වැඩි දුරටත් අදහස් දක්වා ඇති ක්‍රීඩා අමාත්‍යවරයා පවසන්නේ ජාතික මට්ටමේ විදෙස් තරගාවලියක් සදහා ක්‍රීඩකයන් විදෙස් ගත කරවීමේදී ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය ලබා ගැනීම පවතින නීතිය බවත් එවැනි කිසිම අනුමැතියකින් තොරව මෙවැනි සංචාරයක් සදහා ක්‍රීඩකයන් පිටත් කර හැරීම බරපතල වැරැද්දක් බවයි.
තවද මෙලෙස අනුමැතියකින් තොරව සංචාරයන්ට එක් කිරීමෙන් ක්‍රීඩකයන්ගේ ආරක්ෂාව පිළිබදව තමාට හෝ ක්‍රීඩා අමාත්‍යංශයට වගකීමක් භාර ගත නොහැකි බව පවසන ජයසේකර මහතා මෙලෙස ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතියකින් තොරව ක්‍රීඩකයන් විදෙස් ගත කිරීමට ඉඩ ලබා දුනහොත් වෙනත් ක්‍රීඩා සංගම්, සමාජද තම තමන්ට රුචි අරුචි විදියට විදෙස් සංචාර යොදා ගනු ඇති බවත් එවැනි පූර්වාදර්ශ ලබා දීමට තමා කිසිසේත් ඉඩ නොතබන බවත් පැවැසීය.
එබැවින් ඊයේ රාත්‍රියේ ඉන්දියාව බලා යෑමට කටුනායකට පැමිණි ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම නැවත හරවා යැවීමට තමා තීරණයක කළ බවත් මෙවැනි තත්ත්වයක් නිර්මාණය කළ අය කවුරුන්ද යන වග සොයා බලා කටයුතු කිරීම ක්‍රිකට් ආයතනයේ වගකීම බවත් පෙන්වා දුනි.
ඒ අනුව අත්තනෝමතික ලෙස කණ්ඩායම ඉන්දියාවට යැවීමට උත්සාහ කළ නිළධාරීන් පිළිබදව ඉදිරියේදී නීති ක්‍රියාත්මක වනු ඇතැයි පැවැසෙන අතරම මෙයින් පිළිඹිබු වනනේ වත්මන් ක්‍රිකට් ආයතනයේ පරිපානය දුර්වලතා බවද ඇතැමුන් චෝදනා නගයි.
මේ වනවිට දරුණු පරාජයටන් ලක්‌වෙමින් දැඩි ලෙස මානසික අවපාතයකට ලක්ව සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් මෙවැනි සිදුවීම් මගින් තවදුරටත් මානසික පරිහානියට පත්වන බව විචාරකයෝ පෙන්වා දෙති.
තවද කණ්ඩායමේ නායකත්වයද වෙනස් කර ඇති මොහොතක ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයාටද නොදන්වා මෙවැනි සංචාර සදහා කීඩකයන් යෙදවීමෙන් ක්‍රිකට් ආයතනය මේ වනවිට පාලනය වන්නේ කාගේ යටතේ දැයි ප්‍රශ්ණයක් මතු වන බවද ඇතැමුන් ප්‍රශ්ණ කරයි.