1950 ~ 60 දශකයේ ලාංකේය වොලිබෝලය ජ්‍යාත්‍යන්තරයට රැගෙන ගිය කමලා නාගොඩවිතාන

වර්ශ 1941 නොවැම්බර් මස 04 වන දින කඩවත දී උපත ලැබූ කමලා නාගොඩවිතාන බද්දේගම ක්‍රිස්තුදේව බාලිකා විදුහලෙන් වොලිබෝල් ක්‍රීඩාවට අවතීර්ණ විය. 1960 වර්ෂයේ ජාතික කාන්තා වොලිබෝල් අනුශූරතාව දිනාගත් බද්දේගම ක්‍රිස්තුදේව විදුහල් කණ්ඩායම නියෝජනය කරමින් වොලිබෝල් ක්‍රීඩාවේ ජාතික තලයට අත්පොත තැබූ කමලා ක්‍රිස්තුදේව කණ්ඩායමේ නායකත්වයද දැරීය. 1961 – 1962 වර්ශයන් හී දී ක්‍රිස්තුදේව ක්‍රීඩීකාවන් ජාතික කාන්තා ශූරතාව දිනාගනු ලැබුවේ කමලා නාගොඩවිතානයන්ගේ කණ්ඩායම 1961 වර්ශයේදී දැමු අඩිතාලම ඔස්සේ ය.

පාසල් සිසුවියක සිටියදීම ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට කමලා භාග්‍ය ලැබීය. ඒ 1959 දී ලංකාවට පැමිණි සමස්ථ ඉන්දීය කාන්තා කණ්ඩායම සමඟ කොළඹ / රත්නපුර / යාපනය / මිරීගම / මහරගම / අනුරාධපුර / කුරුනෑගල / ගාල්ල සහ පුත්තලම නගරවලදී පැවති ඉන්දු – ලංකා තරඟ මාලාවේදී ලංකා කණ්ඩායම නියෝජනය කරමිනි. ලංකා කාන්තා කණ්ඩායමේ ප්‍රබල ප්‍රහාරිකාවක වූයේද කමලාය.
කමලා 1966 වර්ෂයේදී  ශාරීරික අද්‍යාපන ඩිප්ලෝමා පාඨමාලාවක් හැදෑරීම සඳහා මදුරාසියේ YMCA Saidpet අධ්‍යාපන පිඨයට ඇතුල්විය. කමලාගේ ක්‍රීඩා දිවියේ ස්වර්ණතම යුගය උදාවූයේද , 1960 – 61 ඉන්දියාවේ අධ්‍යාපනය හදාරන කාලයේදීය. ප්‍රවීණ ඉන්දීය වොලිබෝල් පුහුණු කරු හර්බට් ධනරාජ්ගේ මග පෙන්වීම යටතේ මධුරාසි YMCA කාන්තා වොලිබෝල් කණ්ඩායමේ නායකත්වය දැරූ කමලා 60 – 61 වර්ෂයන් හී ඉන්දීය ජාතික වොලිබෝල් තරඟ මාලාවේ දී මදුරාසි කණ්ඩායම නියෝජනය කිරීමට ද සමත් විය. මධුරාසි ප්‍රාන්ත කණ්ඩායම නියෝජනය කරමින් කමලා තැබූ වාර්තාව ලාංකීය වොලිබෝල් ඉතිහාසයේ විශිෂ්ඨතම කඩඉමක් වශයෙන් හැඳින්විය හැක. ඒ ශ්‍රීලංකා වොලිබෝල් ක්‍රීඩකයකු හෝ ක්‍රීඩිකාවක් ප්‍රථම වරට විදේශීය කණ්ඩායමක් නියෝජනය කිරීමේ අවස්ථාවයි. කාලික වසන්තප්‍රිය හා සමන් චන්ද්‍රනාත් ඉන්දීය බැංකු කණ්ඩායම නියෝජනය කරමින් 2005 වර්ශයේදී ඉන්දීය ජාතික තරඟ මාලාවට සහභාගි වෙමින් කමලා මධුරාසි කණ්ඩායමට ක්‍රිඩා කරමින් තැබු වාර්තාව බිඳ දැමුවේ වසර 55කට පසුව වීමෙන් කමලා නාගොඩවිතානයන් ඒදා 1960 වර්ශයේ දී තැබූ වාර්ථාවේ අගය කැපී පෙනේ.
මධුරාසි YMCA පුහුණුවෙන් පසු 1962 වර්ශයේ දී ලංකාවට පැමිණි කමලා ක්‍රීඩා උපදේශිකාවක් වශයෙන් අධ්‍යාපන අමත්‍යංශයට එකතු විය. නාගොඩ ම.වි. , ඇතිලිගොඩ ම.වි. , බටදූව ම.වි. , සහ ගාල්ල මුස්ලිම් බාලිකා විදුහල් වල සේවය කල කමලා පසු කලෙක බලපිටිය හා උයන් වත්ත ගුරු අභ්‍යාස විද්‍යාලයන් හී කතිකාචාර්ය වරියක වශයෙන් ද කටයුතු කලාය. අවුරුදු 54ක් වැනි කෙටි කලකදී 1995 ජනවාරි මස 26 වන දින කමලාගේ ජීවිත ගමනෙන් සමුගැනීම සිදුවිය.
සුසිල් රණසිංහ
(2005 – 2015 ප්‍රධාන ලේකම්)
ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලණය