බ්ලූස්ටාර් පෙරමුණට එයි

ශ‍්‍රී ලංකා පාපන්දු සම්මේලනය විසින් මෙහෙයවනු ලබන අන්තර් ක‍්‍රීඩා සමාජ පළමු පෙළ ඩයලොග් ලීග් පාපන්දු තරගාවලියේ පෙරමුණේ සිටින බ්ලූස්ටාර් කණ්ඩායමට ප‍්‍රබල අභියෝගයක් එල්ල කිරීමට ආරක්ෂක සේවා කණ්ඩායම සමත්ව සිටියි. දෙපිලම මෙතෙක් සහභාගි වූ තරගවලදි සම ජයග‍්‍රහණ වාර්තා කිරීම හේතුවෙන් පෙරමුණ ගැනීමට මෙම සටන නිර්මාණය වී තිබේ.

බ්ලූස්ටර් කණ්ඩායම තරග 10 කදී ජයග‍්‍රහණ අටක් අපරාජිතව ලබමින් ප‍්‍රසාද ලකුණු සටහනේ ලකුණු 26 ක් ලබා පෙරමුණ ගෙන තිබේ. ආරක්ෂක සේවා කණ්ඩායම තරග 10 කදී ජයග‍්‍රහණ අටක් ලැබුවද ඔවුන් එක් තරගයක් පරාජය වීමෙන් ප‍්‍රසාද ලකුණු 25 ක් ලබා තිබේ.

තරගාවලියේ ප‍්‍රබලම කණ්ඩායමක් වන කොළඹ ක‍්‍රීඩා සමාජය තරග 10 කදී ජයග‍්‍රහණ හයක් සහ පරාජයක් සමග ප‍්‍රසාද ලකුණු 21 ක් ලබා තෙවැනි තැනට පත්ව තිබෙ. සිව්වැනි තැන නාවික හමුදා කණ්ඩායමට හිමිව ඇති අතර ඔවුන් තරග 10 කදී ජයග‍්‍රහණ හයක් ලබා පරාජයන් දෙකක් සමග ප‍්‍රසාද ලකුණු 20 ක් ලබා ඇත.

ජයග‍්‍රහණ පහක් ලබා ප‍්‍රසාද ලකුණු 17 ක් ලබා සිටින රිනවුන් ක‍්‍රීඩා සමාජ පස්වැනි තැනටත් ජයග‍්‍රහණ 4 ක් ලබා සිටින රෙඞ් ස්ටාර් කණ්ඩායම හය වැනි තැනට පත්ව ඇති අතර රත්නම් ක‍්‍රීඩා සමාජය හත්වැනි තැනට පත්ව තිබේ. ප‍්‍රසාද ලකුණු සටහන අනූව සුපර් සන් ක‍්‍රීඩා සමාජය අට වැනි තැනටත් මාතර ක‍්‍රීඩා සමාජ නව වැනි තැනට සහ නිව් යංග්ස් ක‍්‍රීඩා සමාජ 10 වැනි තැනට පත්ව තිබේ.