කෝටි ගණනක වන්දියක් සමග හතුරුසිංහ ගෙදර යන්න සැරසෙයි

ප‍්‍රධාන පුහුණුකරු තනතුරෙන් ඉවත් කරන ලද චන්දික හතුරුසිංහ කෝටි ගණනක වන්දියක් සමග ශ‍්‍රී ලංකාවට සමුදීමට තීරණය කර ඇතැයි වාර්තා වේ. ඔහුගේ කොන්ත‍්‍රාත් කාලය නිමා වීමට පෙර සේවය අවසන් කිරීම හේතුවෙන් මෙම වන්දිය ගෙවීමට සිදුව ඇතැයි සඳහන් වේ.
ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් සහ ක‍්‍රීඩා අමාත්‍යවරයා විසින් නීතිඥයන් මාර්ගයෙන් ඒ සම්බන්ධව වැඩිදුර කරුණු විමසා තිබේ. කෙසේ වෙතත් චන්දික හතුරුසිංහව තියා ගන්නවාට වඩා තවත් ගාණක් දී හෝ ඔහුව ඉවත් කිරීමට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් සභාපතිවරයා තීරණය කර තිබේ.
‘‘අපි නීතිඥයන් මාර්ගයෙන් බලනවා 2020 හතුරුසිංහගේ කොන්ත‍්‍රාත්තුවෙන් එළියට එන්නෙ කොහොමද කියලා. බංග්ලාදේශයේ, දකුණු අප‍්‍රිකාවේ, පාකිස්තානයේ, ඉන්දියාවේ වගේ සෑම රටකම පුහුණුකරුවන් මාරු කළා. අපිත් සෑහෙන්න කාලයක් හතුරුසිංහට දීලා තියෙනවා. අපෙන් අතපසුවීම් වෙලා තියෙනනවා. පුහුණුකරුවා බේරගෙන ක‍්‍රිකට් වැටෙන්න දෙන්න බැහැ. හතුරුසිංහට ගාණක් දෙන්න වුණොත් ඒක දීලා හරි යවනවා. මොකද සල්ලි දීලා හතුරුසිංහව යවනවාද නැතිනම් ක‍්‍රිකට් දිනලා තව සල්ලි හොයනවාද කියලා තමයි බලන්න ඕන.’’ යනුවෙන් ක‍්‍රිකට් සභාපතිවරයා පවසයි.
චන්දික හතුරුසිංහට මාසයකට ශ‍්‍රී ලංකා මුදලින් රුපියල් ලක්ෂ 70 කට අධික මුදලක් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් විසින් ගෙවනු ලබයි. නමුත් අලූතින් එන පුහුණුකරුවාට ගෙවනු ලබන උපරිම මුදලද මසකට ලක්ෂ 45 කටත් අඩු මුදලක් බව වාර්තා වේ. ඒ අනූව හතුරුසිංහ ඉවත් කිරීමෙන් මිලියන ගණනක් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් වලට ඉතිරි වුවද ඔහුට මිලියන ගණනක වන්දියක් ලබාදීමට සිදුවුවහොත් එහි වාසියද හතුරුසිංහගේ සාක්කුවටය.
චන්දික හතුරුසිංහද නීතිඥයන් මාර්ගයෙන් ඔහුට ලැබිය යුතු වන්දිය සම්බන්ධයෙන් විමසා ඇතැයි වැඩිදුරටත් සඳන් වේ. එම වන්දි මුදලම ලබාදීමට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් අකමැති වුවහොත් නඩු මාර්ගයෙන් අදාළ ප‍්‍රශ්නය විසඳා ගැනීමට සිදුව තිබේ.
චන්දික හතුරුසිංහ ඔස්ටේ‍්‍රලියාවේ පදිංචිව සිටින අතර ඔහු ශ‍්‍රී ලංකාවේ රාජකාරිය අවසන් වීමෙන් පසුව ඔස්ටේ‍්‍රලියාව බලා පිටත්ව යන බවද වැඩිදුරටත් සඳහන් වේ.