ඔලිම්පික් නිලවරණය මහ මැතිවරණයකටත් එහා යන ලකුණු

ජාතික ඔලිම්පික් කමිටු නිලවරණයේදී සභාපති තනතුරට වත්මන් සභාපති සුරේෂ් සුබ්‍රමනියම් මහතා සමඟ තරග වැදීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු මහතා නාමයෝජනා දුන් අතර, ලේකම් තනතුරට ජාතික ඔලිම්පික් කමිටු මහ ලේකම් මැක්ස්වෙල් ද සිල්වා මහතා හා ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ ලේකම් මොහාන් විජේසිංහ මහතා අතර ද්වන්ද සටනක් නිර්මාණය වෙයි. අවසන් වරට පැවැති නිලවරණයේදී සුබ්‍රමනියම් මැක්ස්වෙල් පාර්ශ්වයට ප්‍රතිවාදී සභාපති අපේක්ෂකයා වූ රොහාන් ප්‍රනාන්දු මහතා මෙවර කිසිදු තනතුරක් සඳහා නාමයෝජනා නොදීම කැපී පෙනිණි. මෙවර නිලවරණයේදී සියලු තනතුරුවලට පාර්ශ්ව දෙකෙන්ම නාමයෝජනා දී ඇති හෙයින් ඡන්ද විමසුම උණුසුම් මුහුණුවරක් ගෙන ඇත.

ජාතික ඔලිම්පික් කමිටු නිලවරණය මේ 28 වැනිදා ඔලිම්පික් නිවහනේ හේමසිරි ප්‍රනාන්දු ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කොට ඇති අතර නාමයෝජනා භාර ගැනීම ඊයේ පස්වරු 4.00ට අවසන් විය. ඔලිම්පික් ක්‍රීඩා නියෝජනය කිරීමට වරම් ඇති මෙරට ක්‍රීඩා සංගම් 35ක ඡන්ද බලයෙන් වසර 4ක කාලයකට නිලධාරීන් පත් කර ගැනීම සිදු වේ.

උප සභාපති තනතුරු 4ක් වෙනුවෙන් නාමයෝජනා 8ක් ලැබී ඇති අතර සුරේෂ් සුබ්‍රමනියම් මහතාගේ පාර්ශ්වයෙන් අසංග සෙ‍ෙනවිරත්න, සුරන්ජිත් ප්‍රේමදාස, ජෝසප් කෙනී යන මහත්වරුන් හා නිලු ජයතිලක මහත්මිය ඉදිරිපත්ව තිබේ. පාලිත ප්‍රනාන්දු පාර්ශ්වයෙන් ඩයන් ගෝමස්, කංචන ජයරත්න, කමල් පුෂ්පකුමාර හා ප්‍රීති පෙරේරා යන මහත්වරු ඉදිරිපත්ව සිටිති. භාණ්ඩාගාරික තනතුරට සුරේෂ් සුබ්‍රමනියම් මහතාගේ පාර්ශ්වයෙන් ගාමිණී ජයසිංහ හා පාලිත ප්‍රනාන්දු පාර්ශ්වයෙන් අජිත් සියඹලාපිටිය යන මහත්වරු නාමයෝජනා ඉදිරිපත් කළහ.

මේ අතර ඔලිම්පික් නිලවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීමේ අර්බුදයක් හේතුවන් ශ්‍රී ලංකා බාස්කට්බෝල් සංගමයේ සභාපති ඒලියන් ගුණවර්ධන මහතා එම තනතුරෙන් ඉල්ලා අස් වන බව ප්‍රකාශ කොට ඇත. ඔලිම්පික් කමිටු නිලවරණයේදී බාස්කට්බෝල් සංගමයේ ඡන්දය ප්‍රකාශ කිරීමට එම සංගමයේ විධායක සභාව විසින් ලේකම් චන්දන ඒකනායක මහතාට බලය පවරා තිබියදී එය වෙනස් කොට සංගමයේ සභාපති ලෙස තමන්ට එම ඡන්දය අයිතිය ගුණවර්ධන මහතා ඉල්ලා ඇත. එහෙත් එම ඉල්ලීම බාස්කට්බෝල් විධායක සභාව ප්‍රතික්ෂේප කිරීමත් සමඟ ගුණවර්ධන මහතා ඉල්ලා අස් වීම ප්‍රකාශ කොට පිටව ගොස් තිබේ.

ඔලිම්පික් කමිටු නිලවරණය අවසන් වරට 2018 පෙබරවාරි මාසයේ පැවැති අතර වසර 4ක නිලවරණ කාලය නිමා වීමට මාස 2ක් ඉතිරිව තිබියදී සාමාජික ක්‍රීඩා සංගම් වෙත යළිත් ඡන්ද අයිතිය හිමි කර දී ඇත. මේ නිලවරණයේ ඡන්ද විමසීම ඡන්ද පත්‍රිකා භාවිත කරමින් රහස්‍ය ආකාරයෙන් සිදු කිරීම විශේෂත්වයකි.

අවසන් වරට පැවැති ජාතික ඔලිම්පික් කමිටු නිලවරණයේදී සභාපති තනතුර සඳහා සුරේෂ් සුබ්‍රමනියම් මහතා හා රොහාන් ප්‍රනාන්දු මහතා තරග කළ අතර එහිදී සුබ්‍රමනියම් මහතා ඡන්ද 18ක් හා රොහාන් ප්‍රනාන්දු මහතා ඡන්ද 12ක් ලබාගත්හ. මහ ලේකම් තනතුර සඳහා වූ සටනේදී වත්මන් ලේකම් මැක්ස්වෙල් ද සිල්වා මහතා ඡන්ද 19ක් හා ප්‍රීති විරාජ් පොරේරා මහතා ඡන්ද 12ක් ලබා ගත්හ.

එම නිලවරණයේදී රොහාන් ප්‍රනාන්දු මහතාගේ පාර්ශ්වයෙන් උප සභාපති තනතුරකට තරග කළ මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු මහතා පමණක් ජය ලැබීම විශේෂත්වයකි. ජෝසප් කෙනී, අසංග සෙ‍ෙනවිරත්න හා සුමිත් එදිරිසිංහ යන මහත්වරු සුරේෂ් – මැක්ස්වෙල් පාර්ශවයෙන් උප සභාපතිවරු ලෙස වැඩි ඡන්දයෙන් පත්ව විධායක සභාවේ බහුතර බලය අත් පත් කර ගත්තේය.

ජාතික ඔලිම්පික් කමිටු නිලවරණය ඉදිරියට ගෙන යෑම උදෙසා පළමු පියවර ලෙස නිලවරණ කමිටුව පත් කර ගැනීමේ විශේෂ මහා සභාව පසුගියදා පැවැති අතර එහිදී ජාතික ඔලිම්පික් කමිටු සභාපති සුරේෂ් සුබ්‍රමනියම් මහතා විසින් නිලවරණ කමිටු සභාපති ලෙස ක්‍රීඩා අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයකු වන ආචාර්ය ආර්.එම්.කේ. රත්නායක මහතාගේ නම යෝජනා කළ අතර සෙසු සාමාජිකයන් ලෙස එම අමාත්‍යාංශයේම හිටපු ලේකම්වරුන් දෙපළක් වන එස්. රනුග්ගේ හා අනුර ජයවික්‍රම යන මහත්වරුන්ගේ නම් සභාවට ඉදිරිපත් කරන ලදි. මේ සඳහා ඡන්ද විමසීමක් පැවැති අතර සුරේෂ් සුබ්‍රමනියම් මහතාගේ යෝජනාව අනුමත කරමින් ඡන්ද 20ක් ප්‍රකාශ විණි. විපක්ෂව ඡන්ද 13ක් වාර්තා විය.