‘ලෝක කුසලාන අපිට ලේසි වෙන එකක් නැහැ’ – අර්ජුන කියයි

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් දූෂණ මර්ධන කාර්යාලයක් ශ්‍රී ලංකාවේ පිහිටුවීම ලැජ්ජාවට පත්විය යුතු කරුණක් බව 1996 ලෝක ක්‍රිකට් ශූරතාව දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම් නායක අර්ජුන රණතුංග මහතා පවසයි. වත්මන් ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යවරයා ලෙස කටයුතු කරන හෙතෙම වැඩිදුරටත් මෙසේ පැවසීය.
‘පසුගියදා අපි හදපු ආණ්ඩුවේ අවාසනාවන්ත ක්‍රීඩා ඇමැතිවරු සහ ඒ ක්‍රීඩා අමාත්‍යවරුන්ට ආවරණය දෙන බුකීකාරයෝ සිටියා. ඔවුන් එකතුව ක්‍රිකට් ක්‍රීඩාව විනාශ කළා. ඒගැන අපි ජනාධිපතිතුමාට අනන්තවත් කිව්වා. අගමැතිතුමාටත් අනන්තවත් කිව්වා. නමුත් මේ අවුරුදු හතරට කරපු විනාසය දැන් අපි භුක්ති විදිමින් ඉන්නවා.’
ජනාධිපතිවරයා ළගින්ම සිටින පිරිසක් ක්‍රිකට් පාලනය කළ බවත් ඉදිරි ලෝක කුසලානය ශ්‍රී ලංකාවට ලෙහෙසි වන එකක් නොවන බවත් අර්ජුන රණතුංග අමාත්‍යවරයා පවසයි.
‘දැන් තරග පාවාදීම් අහුවෙලා තියෙනවා. ලෝක ක්‍රිකට් කවුන්සිලය තරග පාවාදීම් ගැන වෙනම ඒකකයන් මේ රටේ ස්ථාපති කරන්න හදනවා. ඒක රටට ලොකු ලැජ්ජාවක් මීට කලින් ජනාධිපතිතුමා ළඟ ඉන්න පිරිසක් තමයි ක්‍රිකට් පාලනය කළේ. ඒ අය මේ තත්ත්වයට වගකියන්න ඕන. කොහොම නමුත් තව පොඩි කාලයයි ක්‍රිකට් ලෝක කුසලානට තියෙන්නෙ. මං හිතන්නෙ එම තරගාවලිය අපිට ලේසි වෙන එකක් නැහැ මේ තියෙන තත්ත්වයත් එක්ක. හැබැයි අපේ ක්‍රීඩකයෝ දක්ෂයි. අපේ පරිපාලනයෙයි ගොඩක් ප්‍රශ්න තියෙන්නෙ. ඉදිරි නිලවරණයේදී මේ ප්‍රශ්න ගැන වැඩි අවධානය යොමු කරන්න අපි බලාපොරොත්තු වෙනවා.