20යි 20 තරගයකදී ප්‍රථම වරට ඉන්දියා කණ්ඩායම පරාජය කළ බංග්ලාදේශය

ජාත්‍යන්තර 20යි 20 තරගයකදී ප්‍රථම වරට ඉන්දියා කණ්ඩායම පරාජය කිරීමට බංග්ලාදේශ කණ්ඩායම පසුගිය (03) දා සමත් විය.

ඒ දෙරට අතර පැවැත්වෙන තරග 3කින් සමන්විත 20යි 20 තරගාවලියේ පළමු තරගය බංග්ලාදේශ කණ්ඩායම කඩුළු 7කින් ජයගනිමින්.

තරගයේ කාසියේ වාසිය දිනූ බංග්ලාදේශය ප්‍රථමයෙන් පන්දුවට පහරදීම සඳහා ඉන්දියාවට ආරාධනා කළේය.

ඒ අනුව පිටියට පිවිසි ඉන්දියාව නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 6ක් දැවී ලකුණු 148ක් රැස් කිරීමට සමත් විය.

එහිදී ශීකර් ධවාන් රැස් කරගත් ලකුණු සංඛ්‍යාව 41ක්.

රිෂාබ් පාන්ට් ලකුණු 27යි.

පන්දු යැවීමේදී අමිනුල් ඉස්ලාම් ලකුණු 22කට කඩුළු 2ක් දවාගත්තේය.

ලකුණු 149ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 3කදී කඩුළු 3ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියේය.

එහිදී විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ මුෂ්ෆිකර් රහීම් පන්දු 43කදී හයේ පහරක් සහ හතරේ පහර 8ක් සමගින් නොදැවී රැස් කරගත් ලකුණු සංඛ්‍යාව 60ක්.

සෞම්‍ය සර්කාර් ලකුණු 39යි.

මොහොමඩ් නයිම් ලකුණු 26යි.

එම ජයග්‍රහණය වාර්තා අතරට එක්වූයේ බංග්ලාදේශය ජාත්‍යන්තර 20යි 20 තරගයකදී ඉන්දියාව පරාජය කළ පළමු අවස්ථාව ලෙසයි.

මීට පෙර අවස්ථා 8කදී ඉන්දියාව සහ බංග්ලාදේශය අතර 20යි 20 තරග පවත්වා ඇති අතර එම තරග සියල්ල ජයගෙන ඇත්තේ ඉන්දියාවයි.