සභාපති කුසලාන පාපන්දු තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට කණ්ඩායම් අටක් එයි

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය මගින් සංවිධානය කරන සභාපති කුසලාන ආරාධිත පාපන්දු තරගාවලියේ අර්ධ අවසාන වටයට කණ්ඩායම් 8ක් මේ වන විට තේරී පත් වී තබේ. ඒ අනුව මේ වනවිට තරගාවලියේ ‘ඒ’ කාණ්ඩයෙන් පෙරමුණ ගැනීමට ජාවාලේන කණ්ඩායම සමත් වී සිටින අතර ඔවුන් ජයග්‍රහණ 2ක් සහ එක් තරග සම වීමක් සමගින් අර්ධ අවසන් පූර්ව වටයට පිවිසීමට සමත්ව සිටී. ‘බී’ කාණ්ඩයෙන් ජයග්‍රහණ ද්විත්වයක් සහ එක් තරග සමවීමක් සමගින් අර්ධ අවසන් පූර්ව වටයට පිවිසීමට නිව් ස්ටාර් කණ්ඩායම සමත් වී සිටී.
‘සී’ කාණ්ඩයෙන් අර්ධ අවසන් පූර්ව වරම් දිනා ගැනීමට යුද හමුදා කණ්ඩායම සහ රෙඞ් ස්ටාර් කණ්ඩායම සමත් වී සිටී. එහිදී යුද හමුදාව ජයග්‍රහණ 2ක් ලබා සිටින අතර ඔවුන් එක් තරගයක් ජය පරාජයකින් තොරව නිමා කර ගැනීමට සමත්ව සිටී. රෙඞ් ස්ටාර් කණ්ඩායම ජයග්‍රහණ දෙකක් සහ එක් තරග පරාජයක් ලබා තිබේ.
‘ඩී’ කාණ්ඩයෙන් පොලිස් ක්‍රීඩා සමාජය එක් තරග පරාජයක් සහ ජයග්‍රහණ 2ක් සමගින් අර්ධ අවසන් පූර්ව වටයට පිවිස සිටින අතර සෙරන්ඩිබ් කණ්ඩායම එක් තරග ජයග්‍රහණයක්, එක් තරග පරාජයක් සහ එක් තරග සමවීමක් සමගින් අර්ධ අවසන් පූර්ව වරම් දිනා තිබේ.
මේ අතර සභාපති කුසලාන පාපන්දු තරගාවලියේ අපරාජිත බව රැක ගනිමින් ‘ඊ’ කාණ්ඩයෙන් පෙරමුණ ගැනීමට බ්ලු ඊගල් කණ්ඩායම ඊයේ (19 වැනිදා) සමත් විය. කොළඹ කණ්ඩායම සමග සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැති තරගය ගෝල 2-0ක් ලෙස ජය ගනිමින් අදාළ කාණ්ඩයේ පෙරමුණ ගැනීමට ඔවුන් සමත් විය.
කොළඹ කණ්ඩායම සහ බ්ලූ ඊගල් කණ්ඩායම පෙර පැවැති තරග දෙකම ජය ගනිමින් අපරාජිතව තරගාවලියේ රැඳී සිටී අතර කණ්ඩායම් දෙකම අර්ධ අවසන් පූර්ව වටය සඳහා වරම් දිනා ගැනීමට සමත්වී සිටියේය. ඒ අනුව ඊයේ පැවැති තරගය ‘ඊ’ කාණ්ඩයේ පළමු ස්ථානය වෙනුවෙන් පමණක් පැවැති තරගයක් බවට පත්වී තිබිණි.
මේ අතර ‘ඊ’ කාණ්ඩයේ සහභාගි වූ තරග සියල්ලම පරාජයට පත්වී සිටි ක්‍රිස්ටල් පැලස් සහ ශ්‍රී ලංගම අතර ඊයේ පැවැති තරගයේදී ගෝල 3-2ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංගම කණ්ඩායම සමත් විය. ඒ අනුව ඔුවන් අදාළ කාණ්ඩයේ තෙවැනි ස්ථානයට පත්වීමට ඊයේ සමත් විය.