පැසිපන්දුවේ 68 කට මාස තුනක වියදම ලක්ෂ 53 යි

මෙම මස නේපාලයේදී පැවැත්වෙන 13 වැනි දකුණු ආසියානු පැසිපන්දු තරගාවලිය සඳහා සහභාගි වන ශ‍්‍රී ලංකා සංචිතයේ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 60 දෙනෙකු සඳහා පෝෂණ දීමනාව වෙනුවෙන් මිලියන හතරකට (4,368,000.00* වැඩි මුදලක් වෙන් කිරීමට ක‍්‍රීඩා අමාත්‍යාංශය කටයුතු යොදා තිබේ.
අදාළ මුදල් වෙන් කළ බවට 2019.03.11 වැනි දින ක‍්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල්වරායට ලිඛිතව ලබාදී තිබේ. එම මුදල් වෙන් කළද ගෙවී ගිය මාස තුනකට ආසන්න කාලයේදී ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් හැට දෙනා සහ නිලධාරීන් අට දෙනා සෑම දිනකම පුහුණු සැසිවලට සහභාගි නොවී ඇති බව වාර්තා වේ. කෙසේ වෙතත් අදාළ මුදල් වියදම් වු ආකාරය සම්බන්ධයෙන් බිල්පත් ඉදිරියේදී පැසිපන්දු සංගමය විසින් ක‍්‍රීඩා අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කළ යුතු වේ.
මීට අමතරව නිලධාරීන් වෙනුවෙන් පෝෂණ දීමනාව සඳහා රු. 582,400.00 ක් සහ ක‍්‍රීඩාංගණ දෙකක් මාස තුනකට වෙන් කිරීම වෙනුවෙන් 360,000.00 ක් වෙන් කර තිබේ ඒ අනුව සංචිතයේ සමස්ත පෝෂණ දීමනාව සහ ක‍්‍රීඩාංගණ වෙන් කිරීම සඳහා මිලියන පහකට (5,310,400.00* වැඩි මුදලක් වෙන්කර තිබේ.
දකුණු ආසියානු පැසිපන්දු තරගාවලිය වෙනුවෙන් කාන්තා සහ පිරිමි සංචිත දෙකට 30 බැගින් තෝරානෙ ඇති අතර එහිදී දිනකට එක් අයකු සඳහා රුපියල් 800 බැගින් දින 91 ක් වෙනුවෙන් මෙම මුදල වෙන්කර තිබේ.