මට ඉස්සරහින් ඉන්නෙ වාස් අයියා විතරයි – ලක්මාල්

මට ඉස්සරහින් ඉන්නෙ වාස් අයියා විතරයි – ලක්මාල්
ශ‍්‍රී ලංකාවේ වේග පන්දු යවන්නන් අතරින් ටෙස්ට් තරගවලදී තමා දෙවැනි වන්නේ චමින්ද වාස්ට පමණක් බවද සුරංග ලක්මාල් පවසයි. තමාගේ මූලික ඉලක්කය කඩුලූ 150 බවත් අනතුරුව කඩුලූ 250 ඉලක්කයට යන බවත් ගාල්ලේ පැවැත්වෙන ටෙස්ට් තරගය අතරතුරදී ලක්මාල් පැවසීය.
සුරංග ලක්මාල් දැනට ටෙස්ට් තරග 57 කදී කඩුලූ 137 ක් දවාගෙන තිබේ. ඔහුගේ පන්දු යැවීමේ සාමාන්‍ය 39.43 කි., ‘මම ගොඩක් දුක් වින්දලා තමයි මේ තැනට ඇවිල්ලා තියෙන්නෙ. ගොඩක් මහන්සි වෙනවා කඩුලූ 150 ක් ඉක්මනින්ම දවා ගන්න. වේග පන්දු යවන්නෙක් විදිහට ටෙස්ට් කඩුලූ 250 ක් ලබා ගන්න මගේ ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. දැනට වේග පන්දු යවන්නන් අතරින් මම වාස් අයියට විතරයි දෙවැනි වෙන්නෙ. ඇත්තටම ඒක ලොකු සතුටක්.’
‘‘බැට් කරන වෙලාවෙ දික්වැල්ල මට ගොඩක් දේවල් කියනවා. නමුත් ඔක්කොම ඔළුවේ දාගෙන ඉන්න මට බැහැ. ඒ නිසා මම කිව්වා මම මගේ පැත්ත බලාගන්නම් ඔයා ලකුණු ගහන්න කියලා. ඒ වෙලාවෙ කරන්න පුළුවන් උපරිම දෙය ඒක තමයි.’
‘‘පන්දුවෙන් පමණක් නොව පිතිකරණයෙන්ද මට වැඩක් කරන්න පුළුවන් බව දන්නවා. එක එක්කෙනා කියනවා මට හොඳට බැට් කරන්න පුළුවන් නමුත් කඩුල්ල විසි කරලා එනවා කියලා. මම අන්තිම අවුරුදු එකහමාරක කාලයේදී මට ලැබෙන සෑම වෙලාවකදී පිතිකරණ පුහුණුකරුත් සමග දැල තුළ පන්දුවට පහර දෙනවා. ඒ නිසා තමයි මට පිතිකරණයෙනුත් කණ්ඩායමට අවශ්‍ය දේ දෙන්න පුළුවන් වුණේ. මම දන්නවා මට බැට් කරන්න පුළුවන් කියලා.’’