අකිල ධනංජයට වසරක ක්‍රිකට් තහනමකට මග පෑදෙයි

අකිල ධනංජයගේ පන්දු යැවීම නීත්‍යානුකූල නොවන බව ගාල්ලේ පැවැති ටෙස්ට් තරගයේදී විනිසුරුවන් විසින් පැමිණිලි කිරීම හේතුවෙන් ඔහුට වසරක ක්‍රිකට් තරග තහනමක් පැනවීමේ අවධානමක් මතුව තිබේ. ගාලු ටෙස්ට් තරගයෙන් පසු දින 14 ක් ඇතුළත අකිල පරීක්‍ෂණයකට සහභාගි වී එහිදී සිය නිවැරදි භාවය ඔප්පු කිරීමට නොහැකි වුවහොත් පමණක් එම තහනම පැනවෙනු ඇත.
මීට මාස දහයකට පෙරද අකිලගේ පන්දු යැවීමේ ඉරියව්ව සම්බන්ධයෙන් අයි.සී.සී.යට පැමිණිලි ලැබු අතර එහිදී ඔහු පන්දු යැවීමේ පරීක්‍ෂණයකට සහභාගි වී සිය නිවැරදි භාවය ඔප්පු කිරීම සඳහා නව ඉරියව්වක් සහිතව පන්දු යැවීමට ආරම්භ කළේය. නමුත් ගාල්ල ටෙස්ට් තරගයේදී කඩුලු පහක් දවාගත් අකිල ධනංජයගේ එම ඉරියව්වද සැක සහිත බව ගාල්ල ටෙස්ට් තරගයේ තරග විනිසුරුවන් වූ එංගලන්ත ජාතිකයන් දෙදෙනා වන මයිකල් ජෝජ් සහ රිචඞ් ඉලින්ග්වොර්ත් විසින් තරග තරග තීරක ඇන්ඩි පයික්‍රොෆ්ට්ට පැමිණිලි කර තිබේ.
ගාල්ල ටෙස්ට් තරගයේදී කඩුලු පහක් ලබා ගැනීමෙන් පසුව අකිල ධනංජය ප්‍රකාශ කර සිටියේ, “අලුත් ඉරියව්වෙන් මම පන්දු යවන්න කැමැතියි. මගේ පොඩි වෙනස්කමක් විතරයි කළේ. දැන් වෙනදාටත් වඩා මට අවශ්‍ය විදිහට පන්දුව යවන්න පුළුවන් යනුවෙනි.”
පන්දු යවන්නකුගේ අත පන්දු යවන අවස්ථාවේදී නැවී දිග හැරෙන ප්‍රමාණය අංශ 15 ඉක්මවා යන්නේ නම් ඔහු පන්දුව දමා ගසන්නකු බවට පත්වේ. ඒ අනූව මීට පෙර අකිල ධනංජය අංශක 15 ඉක්මවා අත නවා දිග හරිමින් පන්දු යවා තිබෙන බවට ඔප්පු විය. නමුත් නව ඉරියව්ව අනූව අංශක 15 ට අඩුවෙන් ඔහු පන්දු යවන බවටද තහවුරු වූ අතර එම ප්‍රමාණය අංශය 14-15 ත් අතර ප්‍රමාණයකි.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ක්‍රීඩකයන් සඳහා සකස් කර ඇති නීති මාලාව අනූව වසර දෙකක් ඇතුළත එකම චෝදනාවකට ක්‍රීඩකයකු වරදකරු වුවහොත් ඔහුට වසරක ක්‍රිකට් තරග තහනමක් පැනවෙනු ඇත. ඒ අනූව අකිල ධනංජය ඉදිරි දින කිහිපයේී ජෛව යාන්ත්‍රික් තක්සේරුවකින් සිය නිවැරදිභාවය ඔප්පු කිරීමේ පරීක්‍ෂණයකට මුහුණ දීමට සූදානමින් සිටියි.
2018 වසරේ දෙසැම්බර් මාසයේදී අකිලගේ පන්දු යැවීමේ නීත්‍යානුකූල නොවන බවට තහවුරු වීමෙන් පසු ඔහු යළිත් සිය නිවැරදි ඉරියව්ව සමගින් පන්දු යැවීම ආරම්භ කරමින් සහභාගි වූ පළමු ටෙස්ට් තරගයේදීම එම චෝදනාවට හසුවිය.
25 හැවිරිදි අකිල ධනංජය ටෙස්ට් තරග හයකදී කඩුලු 33 ක් දවාගෙන ඇති අතර එහිදී ඔහුගේ කඩුල්ලක් ලබා ගැනීමේ සාමාන්‍ය 24.81 කි. පන්දු යැවීමේ ඉරියව්ව නිවැරදි කිරීමෙන් පසුව අකිල ධනංජය පසුගියදා බංග්ලාදේශය සමග පැවැති එක්දින තරගාවලියටද සහභාගි වු අතර එහිී ඔහුට කිසිම චෝදනාවක් එල්ල නොවුණි. කෙසේ වෙතත් එක්දින තරග 36 කදී කඩුලු 51 ක් දවා ගැනීමටද අකිල සමත්ව තිබේ.