ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයෝ හිනා වෙන්නේ ඇයි? – දිමුත් පහදයි

කෝසල ගමගේ
අමිහිරි අත්දැකීම් මැදින් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම දැන් හිනා වීමට පටන් ගෙන තිබේ. උපරිම නිදහස සහ විශ්වාසය හේතුවෙන් ඔවුන් හැම වෙලාවේදීම සිනහමුසු මුහුණින් කල් ගෙවන බව කණ්ඩායම් නායක දිමුත් කරුණාරත්න පවසයි.
නවසීලන්තය පරාජය කිරීමෙන් පසුව සහ ඊට පෙර දකුණු අප‍්‍රිකාව පරාජය කිරීමේ සිට ක‍්‍රීඩකයන්ට සෙමි සෙමින් විශ්වාසය සහ නිදහස බුක්ති විදීමට ලැබීමෙන් ඔවුන් දැන් උපරිම විනෝදයෙන් සිටින බවද ශ‍්‍රී ලංකා නායකයා සඳහන් කර සිටියි.
‘‘මම කැමැතියි කණ්ඩායමේ ක‍්‍රීඩකයන්ට ගොඩක් නිදහස දෙන්න. තරගයේ දෙවැනි ඉනිමේදී හැමෝම දකින්න ඇති කුසල් මෙන්ඩිස් සහ කුසල් පෙරේරා ක‍්‍රීඩා කරපු විදිහ. පොඩි ලකුණු ප‍්‍රමාණයක් තිබ්බත් පිඩනය එනවා. එහෙම වෙලාවෙදි ඔවුන් දෙන්නා ඇවිල්ලා පන්දු යවන්නන්ට වේගයෙන් ලකුණු ගහන්න උත්සහ කළා. ඒ වගේ දේවල් තමයි ඇත්තටම වෙන්න ඕන. මේ වගේ තණතීරුවලදී ඒ වගේ ධනාත්මක දේවල් වෙන්න ඕන. ඒවා මම කණ්ඩායමට දීලා තියෙන්නෙ.’’
‘‘හැමෝම කණ්ඩායමේ ගොඩක් වෙලාවට හිනා වෙලා ඉන්නෙ ඔවුන්ට මම දීලා තියෙන නිදහස නිසා. ඔවුන්ට ලැබිලා තියෙන්නෙ ඔවුන්ට තියෙන නිදහස විශ්වාසය නිසා තමයි ධනාත්මකව ඉදිරියට යන්න පුළුවන්. කණ්ඩායමකට එවැනි දේවල් අවශ්‍යයි.’’ යැයි පැවසූ කරුණාරත්න කණ්ඩායමේ ක‍්‍රීඩකයන් ගැන තවදුරටත් මෙසේ පැවසීය.
‘‘ළහිරු කුමාර ආබාධයකින් පසුව ඇවිල්ලා පැයට කි.මී. 150 කට දානවා කියන්නෙ ලොකු දෙයක්. මේ වගේ තණතීරුවක පන්දුව දෝලනය කිරීමට සහ බවුන්සර් කිරීම පහසු නැහැ. එයා දැන් ඉතාමත් හොඳින් පන්දු යවනවා. අපි ඔහු ගැන ලොකු බලාපොරොත්තුවක් තියාගෙන ඉන්නෙ. මොකද හැමදාම 150 ක වේගයෙන් පන්දු යවන්න බැහැ. ඒ වගේම සුරංග ලක්මාල් ඒ තරම් වේගයෙන් පන්දු යැව්වෙ නැති වුණත් ඔහු ඉතාමත් හොඳින් පන්දු යවනවා. විශේෂයෙන් අපිට හිටපු රංගන හේරත් සහ ඩිල්රුවන් පෙරේරා නැතිව තමයි මේ තරගය ජය ගත්තෙ. අකිලගෙ සහ ඇඹුල්දෙණියගේ පොඩි අඩුපාඩු තිබුණත් ඒවා හදාගෙන ඉදිරියට යන්න ඕන.’’
නවසීලන්තය සමග තරගයේ වීරයා වෙමින් ශ‍්‍රී ලංකාව ජයග‍්‍රහණයට ගෙන ගිය දිමුත් තමා ශතකය ලබා ගන්නා බව සඟයන්ට කියූ බවද කරුණාරත්න සිහිපත් කළේය.
‘‘මම 2018 දී ශතකයක් ලබා ගත්තට පස්සෙ ශතකයක් ලබා ගන්න ලැබුණෙ නැහැ. මොකද අවස්ථා හයක් විතර ළගට ඇවිල්ලා මග හැරුණා. මම කණ්ඩායමේ ක‍්‍රීඩකයන්ටත් කියලා තිබ්බෙ ගොඩ කාලෙකින් ශතකයක් ගන්න බැරි වුණා මේ තරගයේදී කොහොම හරි ගහන්න ඕන කියලා.’’
කුසල් දැවී ගියේ ඇයි…..?
‘‘කුසල් මෙන්ඩිස් ආපු ගමන් මම කිව්වා ඔයාට විශ්වාස තියෙන පහරවල් බය නැතිව ගහන්න කියලා. ඒක නිසා තමයි එයා එහෙම ගැහුව්වෙ. ඔවුන් පුහුණුවීම්වලදි හොඳට කරනවා. තරගයට ඇවිල්ලා ගහන්න බැරි වෙන්නෙ මානසිකත්වයේ තියෙන අවුල. මට ඕන ක‍්‍රීඩකයන්ට ඒ නිදහස දෙන්න. කුසල් මෙන්ඩිස් ඇවිල්ලා ගහපු ඒ ලකුණු දහය වුණත් ඒ වෙලාවෙ හැටියට වටිනවා. මොකද එහෙම පහරවල් ගැහුව්වහම පන්දු යවන්නන් අමාරුවේ වැටෙනවා.’