‘96 වගේම ගඩාෆි ක‍්‍රීඩාංගණයේදී අපේ ක‍්‍රිකට් වලට යළි පණ ආවා’ – දසුන් ශානක

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමට යළිත් පණ ගැන්වීමට ලාහෝර් ගඩාෆි ක‍්‍රීඩාංගණයේදී හැකි වූ බව ශ‍්‍රී ලංකා විස්සයි විස්ස නායක දසුන් ශානක පවසයි. පාකිස්තානයට එරෙහිව තරගාවලිය 3-0 කින් ජය ගැනීමෙන් පපසුව ඔහු මේ බව සඳහන් කර සිටියේය.
‘‘ලෝක කුසලාන ජයගත්ත තණතීරුවක යළිත් අපිට විශාල තරගාවලි ජයක් ගන්න පුළුවන් වීම ගැන සතුටුයි. මගේ කණ්ඩායමේ හැම දෙනාම ඉතාමත් හොඳින් එකමුතුව ක‍්‍රීඩා කළා. ඇත්තටම කියනවනම් ගඩාෆි ක‍්‍රීඩාංගණයේදී අපේ ක‍්‍රිකට්වලට යළිත් පණ ආවා කියන්න පුළුවන්. අපේ රටේ ජනතාවට ආයෙත් ක‍්‍රිකට් වෙනුවෙන් ඉන්න පුළුවන් වාතාවරණයක් මේ ජයග‍්‍රහණයත් සමග උදා වුණා කියලා මම විශ්වාස කරනවා.’’
කණ්ඩායමට අවශ්‍ය ශක්තිය වන්නේ එකමුතු කම බවද දසුන් පවසයි. ‘‘ජයග‍්‍රහණය කරන්න අවශ්‍ය එකමුතුකම අපේ කණ්ඩායමේ තිබුණ නිසා තමයි මෙහෙය දිනන්න පුළුවන් වුණේ. ඒ වගේම හැමදෙනාටම විශ්වාසයක් තිබ්බා තමන් ගැන. පාකිස්තානයට එනකොට තිබ්බ බය කිසිම කෙනෙකුට තරගයට ආවහම තිබුණෙ නැහැ. පුහුණුකරු, තේරීම් කමිටුව සහ මට හැම දෙනාම මට ලොකු සහයක් ලබා දුන්නා.’’
විස්සයි විස්ස ප‍්‍රිමියර් ලීග් තරගාවලියක් ශ‍්‍රී ලංකාවේ තිබිය යුතු බවත් අනාගතයේදී එවැනි තරගාවලියක් පැවැත්වීමට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් උත්සහ කරනු ඇති බවත් පවසන දසුන් ශානක විස්සයි විස්ස නායක ලසිත් මාලිංග විසින් කණ්ඩායමට ගෙනා ක‍්‍රීඩකයන් බොහොමයක් මේ නවක කණ්ඩායමේ සිටින බවද මතක් කළේය.