දිනේෂ් චන්දිමාල් යුද හමුදාවට

ශ්‍රී ලංකා ටෙස්ට්, එක්දින සහ විස්සයි20 කණ්ඩායම්වල නායකත්වය දරා ඇති දිනේෂ් චන්දිමාල් අධිකාරිලත් නිලධාරියකු ලෙස යුද හමුදාවට බදවාගෙන තිබේ. ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් සංචිතයට ක්‍රීඩකයන් තිදෙනකු සහ ක්‍රීඩිකාවන් 8 දෙනෙකු දායද කර ඇති යුද හමුදාව, මේ වන විට පළමු පෙළ තරගාවලියේ ‘ඒ’ ශ්‍රේණිය යටතේ තරග වදියි.

පළමු පෙළ ක්‍රිකට් තරගාවලියට සහභාගි වන යුද හමුදා කණ්ඩායම, චන්දිමාල්ගේ ආගමනයත් සමග තවදුරටත් සමබර මෙන්ම ශක්තිමත් කණ්ඩායමක් බවට පත් වනු ඇතැයි යුද හමුදා ක්‍රිකට් සමාජයේ කලමණාකාරීත්වයේ විශ්වාස වී තිබේ. යුද හමුදා ක්‍රිකට් කණ්ඩායම තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් ජාතික තලයේ තවත් ක්‍රීඩකයන් කිහිපදෙනකුම ඉදිරියේදී යුද හමුදාවට එක් වීමට නියමිත බවද වාර්තාවේ.

දක්ෂ පිතිකරුවකු මෙන්ම කඩුළු රකින්නකුද වන චන්දිමාල්, 2014 වසරේ පැවැති විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශුරතාව දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නිල නායකත්වය දැරීය.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මේ දක්වා ටෙස්ට් තරග 53 කදී ශතක 11 ක් සමග ලකුණු 3768 ක්ද, එක්දින තරග 146 කදී ශතක 5 ක් සමග ලකුණු 3599 ක්ද රැස්කරගෙන ඇති චන්දිමාල්, මේ වන විට ජාත්‍යන්තර ක්‍රිකට් සභාවේ නවතම ටෙස්ට් පිතිකරු ශ්‍රේණිගත කිරීමේ 30 වැනි ස්ථානය හිමිකර ගෙන සිටියි.