පළාත් පාපන්දු තරගාවලියේ නැඟෙනහිර – මධ්‍යම තරගය ජය පැරදුමෙන් තොරයි

නිදහස් කුසලාන පළාත් පාපන්දු තරගාවලියේ නැඟෙනහිර හා මධ්‍යම පළාත් අතර පළමු තරගය ජය පරාජයෙන් තොරව නිමා වෙයි. මේ අන්තර් පළාත් පාපන්දු තරගාවලිය ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතාගේ හා මහාමාර්ග ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ ආරම්භ විණි.

අලුතින් නවීකරණය කරන ලද මාලිගාපිටිය ක්‍රීඩාංගණයේදී ඊයේ පැවැති මේ තරගයේදී ⁣ දෙපිලම ගෝල් වාර්තා කිරීමට සමත් නොවිණි. ආරම්භයේ සිටම තරගය උණුසුම් මුහුණුවරක් ගත් අතර, දෙපිලේම ආරක්ෂක පෙළ ක්‍රීඩකයෝ ඉතා දක්ෂ ලෙස ක්‍රීඩා කිරීමෙන් රැස් කළ හැකිව තිබූ ගෝල් කිහිපයක්ම වැළකී ගියහ.

විශේෂයෙන්ම මධ්‍යම පළාත් පිලේ ගෝල් කීපර් ගිහාන් කුරුකුලසූරිය මේ තරගයේදී කැපී පෙනෙන ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කළ අතර, ඔහු නිමා වූ සුපර් ලීග් පාපන්දු තරගාවලියේ බ්ලූ ඊගල්ස් කණ්ඩායමේ ගෝල් කීපර් ලෙස අත්දැකීම ලැබූ ක්‍රීඩකයකු වීම එයට හේතුවකි.

නැඟෙනහිර කණ්ඩායම වෙනුවෙන් ජාතික පාපන්දු පිලට ක්‍රීඩා කළ මොහොමඩ් රිෆ්කාන් හා මොහොමඩ් මුෂ්ටාක් එක්ව සිටි අතර, මධ්‍යම පළාත් පිලට ජාතික පිලට ක්‍රීඩා කළ කාලීඩ් අශ්මීර් එක්ව සිටියේය.

නැඟෙනහිර පළාත් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස එම්.එච්.එම්. රූමී මහතා කටයුතු කළ අතර, මධ්‍යම පළාත් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස රුමී පකීර් අලී මහතාට වගකීම පැවරී තිබිණි.

මේ පළාත් පාපන්දු තරගාවලියෙන් ග්‍රාමීය මට්ටමේ දක්ෂ ක්‍රීඩකයන් රැසක් හඳුනා ගැනීමට හැකි වූ බව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ජස්වර් උමර් මහතා පැවසීය.

රට පුරා සියලු ග්‍රාමීය ප්‍රදේශ නියෝජනය වන පරිදි පළාත් 8ක කණ්ඩායම් මේ තරගාවලියට ක්‍රීඩා කරන අතර, වයඹ හා උතුරු මැද පළාත් දෙක එක් කර සෑදූ රජරට හා ඌව පළාත ඊයේ රාත්‍රියේ තරග කිරීමට සූදානම් ව සිටියේය.

රාජමනී දේවසභායගම් මහතා රජරට පිල පුහුණු කරන අතර එම්.එච්.එම්. හම්සා මහතා ඌව පළාත් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වේ. පුවත්පත මුදුණයට යද්දී එම තරගය ආරම්භ වී නොතිබිණි.

අද දින පස්වරු 3.30ට ප්‍රධාන පුහුණුකරු රත්නම් ජැස්මීන් මහතාගේ උතුරු පළාත් කණ්ඩායම හා එම්.එම්. රහුමාන් මහතා ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන සබරගමු පළාත අතර තරගය පැවැත්වේ. අද පස්වරු 7. 30ට විදුලි ආලෝක ධාරා මැද සුමිත් වල්පොළ මහතා ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන බස්නාහිර පළාත් කණ්ඩායම හා ශිරන්ත කුමාර මහතා ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන දකුණු පළාත් කණ්ඩායම අතර තරගය පැවැත්වීමට කටයුතු යොදා ඇත.

නිදහස් කුසලාන සිලෝන් පළාත් පාපන්දු තරගාවලිය පළාත් අටක් තුළ දී ක්‍රීඩා කළ යුතු අතර, දෙවැනි පළාත් තරග අදියර මේ 29 හා 30 දිනවල යාපනය දිස්ත්‍රික්කයේ දොරේ අප්පා ක්‍රීඩාංගණයේදී හා අරියාලෙයි ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.