ඉතිහාසයේ පළමු වරට පාපන්දු තරු බැබළුන සම්මානය රාත්‍රිය

අතීතය සහ වර්තමානය එකතු කරමින් ශ‍්‍රී ලාංකේය පාපන්දු ඉතිහාසයේ පළමු වතාවට සංවිධානය කෙරුණු පාපන්දු වර්ණ ප‍්‍රදානෝත්සවය පෙරේදා (20) රාත‍්‍රියේ තලවතුගොඩ පිහිටි ග‍්‍රෑන්ඞ් මොනෑක් හෝටලයේදී උත්කර්ෂවත් ආකාරයෙන් සංවිධානය කර තිබුණි.

ශ‍්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරමින් ජාත්‍යන්තර පාපන්දු කෙළිබිමේ දක්ෂතා ප‍්‍රදර්ශනය කළ ක‍්‍රීඩකයන් හට ශ‍්‍රී ලංකා පාපන්දු වර්ණ පිරිනැමීම ද මෙහිදී සිදු කෙරුණි.

පසු ගිය ජූනි මස දකුණු කොරියාවේ දී පැවැති ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සුදුස්සන් තෝරා ගැනීමේ වටයට සහ ඔක්තෝබර් මස බංග්ලාදේශයේදී පැවති දකුණු ආසියාතික පාපන්දු තරගාවලිය හෙවත් සාෆ් ශූරතාවලිය මෙන්ම නොවැම්බර් මස කොළඹ හතේ රීඞ් මාවතේ පිහිටි පැරණි තුරඟ තරග පිටියේදී පැවති ”අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අභියෝග කුසලාන” පාපන්දු තරගාවලියේ අනු ශූරතාව තහවුරු කර ගනිමින් කැපී පෙනුණු ක‍්‍රීඩකයන් වෙත මෙහිදී ශ‍්‍රී ලංකා පාපන්දු වර්ණ ප‍්‍රදානය කෙරුණි.

වර්ණ ප‍්‍රදානෝත්සවයදා පාපන්දු තරු බැබළෙති

ගෝලීය වසංගතයක් බවට පරිවර්තනය වී තිබුණු කොවිඞ් -19 තත්ත්වය මත වසරකින් කල් දමන්නට යෙදුණු ”රිදී ජුබිලිය” සමරමින් 1995 වසරේ කොළඹ දී පැවැති දකුණු ආසියාතික පාපන්දු ශූරතාවලිය හෙවත් සාක් පාපන්දු තරගාවලියේ ශූරතාව දිනා ගනිමින් කැපී පෙණුනු සම්පත් පෙරේරාගේ නායකත්වයෙන් සැදුම්ලත් ශ‍්‍රී ලංකා ජාතික පිල නියෝජනය කළ ක‍්‍රීඩකයන් අගයමින් මුදල් ත්‍යාග පිරිනැමීමට ශ‍්‍රී ලංකා පාපන්දු සම්මේලනය පියවර ගෙන තිබුණි. මේ අතරවාරයේ මෙරට පාපන්දු ඉතිහාසයේ වැඩිම ත්‍යාග මුදල වෙනුවෙන් ක‍්‍රියාත්මක කළ සුපර් ලීග් ක‍්‍රීඩා සමාජාන්තර පාපන්දු තරගාවලියේ ශූරතාව තහවුරු කර ගත් කළුතර බ්ලූස්ටාර්ස් පිලට හිමි රුපියල් 5.000.000/= ක මුදල පිරිනැමීම ද කැපී පෙනුණි. අනු ශූරයන් වූ සී හෝර්ක්ස් පිලට රුපියල් 3.500.000/= ක් ද, තෙවන ස්ථානයට පත් කොළඹ පාපන්දු සමාජයට රුපියල් 2.750.000/= ක් ද, සිව් වැනි ස්ථානයට පත් කොළඹ රිනවුන් ක‍්‍රීඩා සමාජයට රුපියල් 2.500.000/= ක් ද, 05 වැනි ස්ථානය ට පත් නාවලපිටිය අප් කන්ටි‍්‍ර ලයන්ස් පිලට රුපියල් 2.250.000/= ක් ද, 06 වැනි ස්ථානයට පත් පානදුර රෙඞ් ස්ටාර්ස් සමාජය ට රුපියල් 2.000.000/=, 07 වැනි ස්ථානය ට පත් ඩිෆෙන්ඩර්ස් සමාජයට රුපියල් 1.750.000/= ක් ද, 08 වැනි ස්ථානය ට වෙන්නප්පුව නිව් යංග්ස් සමාජයට රුපියල් 1.500.000/= ක් ද, 09 වැනි ස්ථානයට පත් කොළඹ රත්නම් සමාජයට රුපියල් 1.250.000/= ක් ද, 10 වැනි ස්ථානය ට පත් බ්ලූ ඊගල්ස් සමාජයට රුපියල් 1.000.000/= ක් ද බැගින් පිරිනැමිණි. මෙවර සුපර් ලීග් තරගාවලියේ විශිෂ්ටතම ආක‍්‍රමණික ක‍්‍රීඩකයා වෙමින් ”ගෝල්ඩන් බූට්” සම්මානය දිනා ගැනීමට කළුතර බ්ලූ ස්ටාර්ස් පිල නියෝජනය කළ සෙනාල් සංදේශ් සමත් වූ අතර දක්ෂතම දැල රකින්නා ලෙස නම් කෙරුණු සී හෝර්ක්ස් ක‍්‍රීඩා සමාජය නියෝජනය කළ උදයංග පෙරේරා ට ”ගොල්ඩන් ග්ලව්” සම්මානය හිමි විය. අනාගත බලාපොරොත්තු තැබිය හැකි යොවුන් ක‍්‍රීඩකයා ලෙස කළුතර බ්ලූ ස්ටාර්ස් පිල නියෝජනය කළ 17 හැවිරිදි මොහොමඞ් ඉෂාන් නම් කෙරුණු අතර දක්ෂතම පුහුණුකරු ලෙස රාජමනී දේවසගායම් (කළුතර බ්ලූ ස්ටාර්ස් සමාජය* තිළිණ ලැබීය.