භානුක බේරා ගත් නාමල්ගෙ ගමේ ක්‍රිකට් වලට කෙණෙහිළිකම්

ජාතික සුපර් ලීග් (NSL) අන්තර් පළාත් ක්‍රිකට් තරගාවලිය ලබන මස ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සැළැසුම් කර ඇතත් ඒ සඳහා සහභාගී වන කොළඹ, යාපනය, ගාල්ල, මහනුවර සහ දඹුල්ල යන පළාත් වල අදාළ සංචිතයන්ට ක්‍රීඩකයින් තෝරා ගැනීමේදී ක්‍රිකට් පාර්ශවකරුවන් සහ ක්‍රිකට් ළෝලීන් නොමඟ යවා ඇති බව දැන් බොහෝ දෙනා අතර කතා බහට ලක්වී ඇත.
එනම් එම තෝරාගැනීම් සම්බන්ධයෙන් ක්‍රිකට් බලධාරීන් ක්‍රියාකර ඇති ආකාරය බැලූ විට එය “බුදුසරණයි“ නම් නාමපුවරුව ප්‍රදර්ශණය කරමින් හොර බඩු පටවා ගෙන ගිය ලොරියක කතාව සිහිපත් කරවීමක් බවද කිව යුතුය. හේතුව කණ්ඩායමට පළාතේ නම දැම්මද කණ්ඩායම තුළ සිටින්නේ පළාතේ ක්‍රීඩකයින් නොවීමයි. පළාතේ දක්ෂ ක්‍රීඩකයින්ට අවස්ථාව දීම වෙනුවට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව ඇතුළු බලධාරින් කර ඇත්තේ කොළඹ ප්‍රභූ පැලැන්තියේ ක්‍රීඩා සමාජ හතර පහක ක්‍රීඩකයින්ට වැඩි අවස්ථා දී ඔවුන්ට සිතැඟි පරිදි පළාත් කණ්ඩායම් පිරවීමයි.
මේ සම්බන්ධයෙන් චෝදනාත්මක ලෙස අදහස් දක්වන ක්‍රිකට් ක්ෂේත්‍රයේ බොහෝ දෙනා පවසන්නේ කොළඹින් පිට පළාත්වල ක්‍රීඩකයින්ට අයහපත් ලෙස සළකමින් කොළඹ සිංහල ක්‍රීඩා සමාජයේ (එස්එස්සී) ක්‍රීඩයින් පමණක් ප්‍රවර්ධනය කිරීමට මෙම සුපර් ලීග් ක්‍රිකට් තරගාවලිය යොදා ගැනීම සමස්ථ රටේ ක්‍රිකට් ක්‍රීඩාවම කුණු කූඩයට ඇදදැමීමක් බවයි.
මෙසේ සිදුකර ඇති අයථා ක්‍රියාමාර්ග වලට උදාහරණයක් වශයෙන්, ගාල්ල ලෙස නම්කර ඇති ඊනියා ගාලු කණ්ඩායමට ගාල්ල ක්‍රීඩා සමාජයේ එකම ක්‍රිකට් ක්‍රීඩකයෙක් හෝ නැත. පසුගියදා නිමාවූ ශ්‍රී ලංකා පළමු පෙළ පන්දුවාර 50 ක්‍රිකට් තරගාවලියේ හොඳම පිතිකරු සහ හොඳම පන්දු යවන්නා ලෙස තේරී පත්වූ ගාල්ල ක්‍රීඩා සමාජයේ චානක රුවන්සිරි සහ චලන ද සිල්වා පවා ඊනියා ගාලු කණ්ඩායමට ඇතුළත් කර නොමැත. එසේම මීගමුව ක්‍රිකට් ක්‍රීඩා සමාජ කණ්ඩායමේ ඩිල්ෂාන් මුණවීර, මාධව වර්ණපුර සහ ඇන්ජලෝ ජයසිංහ, ශ්‍රී ලංකා පළමු පෙළ පන්දුවාර 50 ක්‍රිකට් තරඟාවලියේ විශිෂ්ට දස්කම් දැක්වීමෙන් පසුවද ඉවත දමා ඇත.
තවත් විහිළුවක් නම් කොළඹ සංචිතයේ අතිරේක ක්‍රීඩකයින් 5න් 4ක්ම සිංහල ක්‍රීඩා සමාජයේ ක්‍රීඩකයින් වීමයි. තවද දැනටමත් මෙරට ක්‍රිකට් වලින් විශ්‍රාම ගැනීම ප්‍රකාශ කර ඇති ඇන්ජලෝ පෙරේරා ඇමරිකාවට සංක්‍රමණය වී සිටියද ඔහු මහනුවර පළාත් කණ්ඩායම වෙනුවෙන් නම්කර තිබීමද ජාතික තේරීම් කමිටු සභාපති ප්‍රමෝදය වික්‍රමසිංහ සහ ක්‍රීඩකයින් ගැන නිසි අවබෝධයක් නැති ඔහුගේ සගයන් කරනා සිනහ ගන්වන කටයුතු පිළිබඳ තවත් උදාහරණයකි. එසේම පසුගිය මුළු තරග වාරයේම ක්‍රීඩා නොකළ කවිඳු නදීෂාන් කොළඹ කණ්ඩාමට නම්කර ඇතැයි දැනගන්නට ඇති අතර
ඔහුද එස්එස්සී. ක්‍රීඩා සමාජ ක්‍රීඩකයෙකු බවද පැවැසේ.
ජාතික සුපර් ලීග් අන්තර් පළාත් ක්‍රිකට් තරගාවලියට කොළඹ, යාපනය, ගාල්ල, මහනුවර සහ දඹුල්ල යන පළාත් කණ්ඩායම් පහට දේශීය ක්‍රීඩා සමාජ 26 කම ක්‍රීඩකයින් ඇතුළත් වන බව පැවැසුවද මේ තුළ අඩංගු සත්‍යය නම් එය නොවේ. මෙම තරගාවලියට තෝරා ගත් ක්‍රිකට් ක්‍රීඩකයින් ගෙන් 60% කට වඩා නියෝජනය කරන්නේ කොළඹ ප්‍රභූ පන්තියේ ක්‍රිකට් සමාජ හතර පහකින් කින් බවද දැනගන්නට ඇත.
යාපනයේ කණ්ඩායම සඳහා තේරීම් බැලූ විට එයද තවත් විහිළුවකි. එම පළාතේ ක්‍රීඩකයෙකු ලෙස තවමත් පළමු පෙළ තරගයක්වත් ක්‍රීඩා කර නොමැති විජයකාන්ත් වියස්කාන්ත් පමණක් අතිරේක ක්‍රීඩකයෙකු ලෙස ඇතුළත් කර ඇත්තේ යාපනයේ ජනතාව සතුටු කිරීමටය. මේ ආකාරයේ පක්ෂග්‍රාහී තේරීම් ක්‍රියාවලියක් හේතුවෙන්, මෙරට පිට පළාත් බහුතර ක්‍රිකට් සමාජ මැසිවිලි නඟමින් සිටින අතර ක්‍රීඩකයෝ කලකිරීමට පත්ව සිටිති.
කොළඹ පාදක කරගෙන කටයුතු කරනා ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් තේරීම් කමිටුව කොළඹ ක්‍රිකට් ක්‍රීඩකයින්ට පමණක් වැඩි කැමැත්තක් දැක්වීමේ ක්‍රියාවලිය මඟින් පිට පළාත් ක්‍රීඩා සමාජවලට ක්‍රීඩා කිරීමෙන් තමන්ට කිසිදු අවස්ථාවක් මෙන්ම ප්‍රතිඵලයක්ද නොලැබෙන බව ක්‍රීඩකයින්ට නරක හැඟීමක් ඇති කරවයි. මෙම අයහපත් පණිවිඩයත් සමඟ පිට පළාත් ක්‍රීඩා සමාජවලට ක්‍රීඩකයින් ලබා ගැනීමට නොහැකි වීමේ අභියෝගයකටද මුහුණ දී සිටින බවද ක්‍රීඩා සමාජ කිහිපයකම ඉහළ බලධාරීන් මෙම ලියුම්කරු සමඟ පැවැසූහ. ඒ අනුව බැලූ විට අපිට හැඟීයන්නේ මෙරට ක්‍රිකට් තේරීම් කලාව
දියුණුව කරා ඉදිරියට යාමක් නොව යළිත් 80 දශකයට පෙර තිබූ වැඩ වසම් කලාව මුසුවූ යුගයකට තල්ලු වේගෙන යන බවයි.

මෙම ජාතික සුපර් ලීග් අන්තර් පළාත් ක්‍රිකට් තරගාවලිය මෙරට ප්‍රධානතම ක්‍රිකට් තරගාවලිය ලෙස සළකන බවත් මෙය ක්‍රියාත්මක කිරීමෙන් පසුව මෙරට ජාතික තේරීම් සඳහා සළකා බැලෙන මූලික තරගාවලිය මෙම තරගාවලිය බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනටමත් නිවේදනය කර ඇත. ඒ අනුව ලබන මස ඇරැඹෙන පන්දුවාර 50 අන්තර් පළාත් ලීග් තරගාවලියෙන් පසුව සිවුදින ලීග් තරගාවලියද පැවැත්වෙන අතර මේ වන විට මෙරට හොඳම ක්‍රිකට් ක්‍රීඩකයින් 100 කණ්ඩායම් පහ අතර බෙදා හැර ඇති බවද පැවැසේ.
කොළඹ සිංහල ක්‍රීඩා සමාජය (එස්එස්සී) ද නියෝජනය කරන ප්‍රමෝදය වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් යුත් ජාතික ක්‍රිකට් තේරීම් කමිටුව විසින් මෙසේ ක්‍රීඩකයින් තෝරා ගනු ලබන අතර මෙරට ක්‍රීඩා අමාත්‍යවරයාටද උපදෙස් ලබා දෙන ජාතික තේරීම් කමිටුවේ වත්මන් සභාපති මහේල ජයවර්ධනද එස්එස්සී ක්‍රීඩා සමාජයේ සාමාජිකයෙකි. මහේල ජයවර්ධන එස්එස්සී ක්‍රීඩා සමාජයේ ක්‍රිකට් කමිටුවේ සභාපතිවරයා ලෙසද කටයුතු කළ අතර දැන් ඔහු එම තනතුරෙන් ඉවත් වී ඇතැයිද පැවැසේ. කෙසේ වෙතත් රටේ ක්‍රිකට් බලය කොළඹ ක්‍රීඩා සමාජ කිහිපයක් විසින් අතට ගෙන කටයුතු කිරීම
සම්බන්ධයෙන් නිසි පියවරක් ගැනීමේ වගකීම මෙකී මහත්වරුන් සතු බවද අමතක නොකළ යුතුය.

මෑතකදී නිමා වූ එල්පීඑල් ක්‍රිකට් තරගාවලියේදී දකුණු පළාත නියෝජනය කළ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ නායක භානුක රාජපක්ෂ ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගත් බව තීරණය කළ වහාම එම තීරණය ආපස්සට හරවන්නට ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා යුහුසුළුව කටයුතු කළේය. එය රටේ ක්‍රිකට් පැත්තෙන් ගත් කළ යහපත් මැදිහත් වීමකි. අපි එය අගය කළෙමු. අනෙක නාමල් එසේ මැදිහත් වූයේ භානුක දකුණේ නිසාවත් ගාල්ල යනු ඔහුගේ දේශපාලන භූමිය වන දකුණේ අගනුවර නිසාවත් නොවේ. රටට ක්‍රිකට් සම්පතක් අකාලයේ අහිමි වන නිසාය. එහෙත් එල්පීඑල්. තරගාවලියේ අවසන් අධියරේ තරග පවත්වන්නට තරම් සුදුසු යැයි වත්මන් ක්‍රිකට් පාලකයින් විසින්ම තොරා ගත් දකුණු
පළාතේ අගනුවර ක්‍රීඩා සමාජය වන ගාල්ල ක්‍රිකට් ක්‍රීඩා සමාජයට එල්පීඑල් උණුසුම යන්නටත් පෙර මෙම ක්‍රිකට් පාලක මහත්වරුන්ම පස්ස හැරවීම සම්බන්ධව ක්‍රීඩා ඇමැති නාමල් මැදිහත් විය යුතු නොවේද?

අනෙක් අතට සිතන්නට වන්නේ වත්මන් ක්‍රිකට් පාලකයින් එල්පීඑල් වැනි ජාත්‍යන්තරයේ අවධානය දිනාගත් ප්‍රධානම ක්‍රිකට් තරගාවලියක් කලකට පසුව හම්බන්තොටට ලබා දීමෙන් බලාපොරොත්තු වූයේ ක්‍රීඩා ඇමැතිවරයාත් අන්දවා ගෙන තමන්ගේ කැමැති ගමනත් යාමේ න්‍යාය ක්‍රියාත්මක කරනවාද යන්නයි. එහෙත් එය සිතළුවක් යැයි බැහැර කරන්නට නම් ඇමැතිවරයාත් ක්‍රිකට් ලොක්කනුත් කළ යුත්තේ ගාල්ලට මෙන්ම කොළඹින් පිට ක්‍රිකට් සමාජ මුහුණ දී ඇති මේ
අසාධාරණයට විසඳුමක් ලබා දීමය. නොඑසේ නම් එල්පීඑල් තරගාවලියේදී දකුණට කිරිත් ජාතික ස්‍රපිරි ක්‍රිකට් තරගාවලියේදී දකුණට කැකිරිත් බෙදීමෙන් ලොවට ක්‍රිකට් තරු නිෂ්පාදනය කළ ක්‍රීඩා ඇමැතිවරයාගේ ගමටත් පළාතටත් සළකා නැතැයි යමෙකුට සිතීමද සාධාරණය.

සිරිනාම රාජපක්ෂ

උපුටා ගැනීම ශ්‍රී ලංකන් ටයිම්ස්