‘නිදහසට කරුණු කියලා වැඩක් නැහැ ‘ – පරාජයෙන් පසුව ශ්‍රී ලංකා නායකයා කියයි

  • අසේල විතාන

දසුන් ශානක තනි අතින් ශ්‍රී ලංකා ලකුණු පුවරුව කරකැවීමට උත්සහ කළද සෙසු පිතිකරුවන්ගෙන් නොලද සහය හමුවේ ධර්මශාලාහිදී පැවැති තෙවැනි විස්සයි විස්ස ක්‍රිකට් තරගයෙන්ද ශ්‍රී ලංකාව කඩුලු 6ක පරාජයක් ලැබීය. ඒ අනුව තරගාවලිය 3/0 ක් වශයෙන් ජයගත් ඉන්දියාව තවදුරටත් ජාත්‍යන්තර විස්සයි විස්ස ශ්‍රේණියේ ඉහළ නැගීමට අවශ්‍ය ප්‍රසාද ලකුණු කිහිපයක්ම එකතු කර ගැනීමට සමත් විය.

ශ්‍රී ලංකාවේ පළමු පිතිකරුව් සිව්දෙනා එකතුව ලකුණු 14 ක් පමණක් ලබා ක්‍රීඩාගාරයේ අසුන් ගනිද්දී දසුන් ශානක අංක හය පිතිකරුවා වශයෙන් පැමිණ පන්දු 38 කදී හයේ පහර දෙකක් සහ හතරේ පහර නවයක් සමග නොදැවී ලකුණු 74 ක් ලබා ගනිමින් ශ්‍රී ලංකාව සටනක් දිය හැකි ලකුණු සංඛ්‍යාවක් (146) කරා රැගෙන යෑමට වගබලා ගත්තේය.
දසුන් ශානක පරාජයට හේතු කියනවාට වඩා ජාත්‍යන්තර තරගයේදී සියලු දේට ලක ලැහැස්ති විය යුතු බව තරගයෙන් පසුව පැවසීය. ”මම ඉන්දීය කණ්ඩායමට සුබ පතනවා. ඔවුන්ගේ ජයග්‍රහණය වෙනුවෙන්. අපිට ජ්‍යෙෂ්ඨ පන්දු යවන්නන් නැතිව තත්ත්වය පාලනය කරන්න අමාරු වුණා. නමුත් මේ ජාත්‍යන්තර ක්‍රිකට්වලදි අපි කොහේ ක්‍රීඩා කළත් තියෙන තත්ත්වයට අනුගතව ක්‍රීඩා කළ යුතුයි. නිදහස කරුණු කියලා වැඩක් නැහැ. පසුගිය වසර පුරාවට අපේ වේග පන්දු යවන්නන් හොඳ වුණා.” යැයි ශානක පවසයි.
නමුත් ප්‍රහාරාත්මක පිතිකරුවන්ගෙන් සමන්විත ඉන්දියානු කණ්ඩායමට එය ප්‍රමාණවත් නොවන බව පෙන්වමින් ඔවුන් පන්දු 19 ක් සහ කඩුලු හයක් අතැතිව තරගයෙ ජය අතට ගත්තේය. තරගාවලියට පුරාවටම සාර්ථක ප්‍රහාරයක් දියත් කළ ෂෙයාර් අයියර් මෙම තරගයේදීත් පන්දු 45 කදී හයේ පහරක් සහ හතරේ පහර නවයක් සමග නොදැවී ලකුණු 73 ක් ලබා තරගයේ වීරයා සහ තරගාවලියේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබීය.