නවතම ටෙස්ට් ක්‍රිකට් ශ්‍රේණිගත කිරීමෙන් ද.අප්‍රිකාවට උසස්වීමක්

සංචාරක පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම සමඟ පැවැති ටෙස්ට් ක්‍රිකට් තරඟාවලිය අවසන් වීමත් සමඟම අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් නවතම ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්  ප්‍රකාශයට පත් කොට තිබේ.

ඒ අනුව පකිස්තානයට එරෙහිව ටෙස්ට් ක්‍රිකට් තරඟාවලිය තරඟ 3 ට 0 ක් ලෙස ජයගත් සත්කාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම නවතම සංශෝධනයට අනුව ප්‍රසාද ලකුණු 110ක් ලබා ගෙන දෙවන ස්ථානය දක්වා උසස්වීමක් ලබා ගෙන ඇත.
මින් පෙර දකුණු අප්‍රිකානු කණ්ඩායම ශ්‍රේණිගත  කිරීම් වල රැඳී සිටියේ සිව්වන ස්ථානයේයි.
නවතම අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලයේ ශ්‍රේණිගත කිරීම් වලට අනුව එංගලන්තය තෙවන ස්ථානයටත් , නවසීලන්තය සිව්වන ස්ථානයටත් පසු බැස තිබේ. ඒ අනුව ඔවුන්ට හිමිවී ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව පිළිවලින් 108ක් හා 107ක්.
පාකිස්තානය සත්කාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම හමුවේ ලද පරාජයත් සමඟම ශ්‍රේණිගත කිරීම්හි 7 වන ස්ථානය දක්වා පහතට ඇද වැටීම හේතුවෙන් ශ්‍රීලංකාවට එක් ස්ථානයක් ඉහලට පැමීණීමට භාග්‍ය ලැබී තිබේ.
එනම් හත් වන ස්ථානයේ සිට හයවන ස්ථානය දක්වා ප්‍රසාද ලකුණු 91ක් ලබා ගනිමින්. ඔස්ට්‍රේලියානු කණ්ඩායමද ප්‍රසාද ලකුණු සටහනේ 101ක් ලබා ගනිමින් පස්වන ස්ථානයේ පසුවෙයි.
කෙසේ වෙතත් ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායම තවමත් පෙරමුණේ රැඳී සිටීමට සමත් වන්නේ ශ්‍රේණිගත කිරීම්හි ප්‍රසාද ලකුණු 116ක් ලබා ගනිමිනුයි.

සටහන : නුවන් ජයතිස්ස