කොරෝනා නිසා පාරට බැස්ස සමී….

ගෝලීය වසංගතයක් බවට පත්ව ඇති කොරෝනා රෝගය ඉන්දියාවේත් මේ දිනවල ශීඝ‍්‍රයෙන් ව්‍යාප්ත වී මිනිසුන් අන්ත අසරණව සිටියි. එවැනි මොහොතක තම රට වැසියන් වෙනුවෙන් කළ හැකි දෙයක් කිරීමට පාරට පැමිණි ඉන්දියානු ක‍්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන මොහොමඞ් ෂාමි මගී ජනතාවට ආහාර පාන සහ මුඛ ආවරණ බෙදාදීමක් සිදුකළේය.
මොහොමඞ් ෂාමි මීට පෙරද කොරෝනා වසංගතය වෙනුවෙන් සත්කාරකත්වය දැක්වීමට ඉදිරිපත් වූ අතර ඔහු බස් රථවල ගමන් කරන මගීන් 200 කට වැඩි පිරිසකට ආහාර සහ කෙසෙල් බෙදා දුන්නේය. උත්තර් ප‍්‍රදේශයේ අම්රෝහා මාර්ගයේදී මෙම සත්ක‍්‍රියාව මොහොමඞ් ෂාමි විසින් සිදුකර ඇත්තේ ඔහුගේ හිතවතුන් පිරිසක්ද එකතු කරගනිමිනි.
ඉන්දියාවේ කොරෝනා රෝගීන් 1871 ක් ඊයේ දිනයේදී සොයා ගත් අතර ඔවුන්ගේ සමස්ත මරණ සංඛ්‍යාව 204 ක් වශයෙන් සටහන් වේ. මේ වන විට ඉන්දියාවේ කොරෝනා රෝගීන් 1,98,706 ක් වශයෙන් සටහන් වේ. ඉන්දියානු ක‍්‍රිකට් ක‍්‍රීඩකයන් බොහොමයක් කොරෝනා රෝගයෙන් පීඩාවට පත් ජනතාවට පසුගිය කාලයේදී උදව් උපකාර කරන අයුරු ඉන්දියානු මාධ්‍යවල සඳහන් කර තිබුණි.