ඉන්දියානුවෝ වේගවත් තණතීරුම ඉල්ලති

ශ්‍රී ලංකාව සමග නාග්පූර් හී සහ දිල්ලි හී පැවැත්වෙන ටෙස්ට් තරග දෙක සඳහාත් වේගවත් තණතීරු සකස් කර දෙන ලෙස ඉන්දියානු ක්‍රිකට් කළමණාකාරීත්වය අදාළ බළධාරීන්ගෙන් ඉල්ලා තිබේ.
ඉදිරි මාස 18 ඇතුළත ඉන්දියානු කණ්ඩායම දකුණු අප්‍රිකාව, එංගලන්තය සහ ඔස්ටේ්‍රලියාවේදී තරග වැදීමට නියමිත බැවින් අදාළ තරගාවලි සඳහා පෙරහුරුවක් වශයෙන් වේගවත් තණතීරුව ශ්‍රී ලංකාව සමග තරගාවලියේදී සකස් කර දෙන ලෙසට ඉල්ලා තිබේ.
“අපිට සංචාර කිහිපයක්ම පිටරටවල තියෙනවා. ඒ සඳහා අපිට සූදානම් වෙන්න ඕන. අපි වේගවත් තණතීරු සොයා ගැනීමට බලාපොරොත්තු වෙනවා. සියලූම දෙනාට ඒක අභියෝයක් වුවත් ඒ දේ අපිට කිරීමට අවශ්‍යයි.” යනුවෙන් ඉන්දියානු ආරම්භක පිතිකරු ලොකේෂ් රාහුල් පවසා තිබේ.
ඉන්දියානුවන්ට ටෙස්ට් ශ්‍රේණියේ අංක එක රැක ගැනීම සහ එක්දින ශ්‍රේණියේ පෙරමුණේ සිටීමට එම තරගාවලි වැදගත් වන හෙයින් දැන්ම ඔවුන් ඒ සඳහා ලක ලැහැස්ති වීමට මෙසේ වේගවත් තණතිරුවලදී ශ්‍රී ලංකාව සමග තරග කිරීමට තීරණය කර තිබේ.