ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටු විධායක සභාවට බාලගිරිදෝෂයක්

ජාතික ඔලිම්පික් කමිටු විධායක සභාව පැවැත්වීම මේ වන විට අවුල් ජාලාවක් බවට පත්ව ඇති අතර ඊට හේතුව වන්නේ විවිධ පාර්ශ්ශවයන් විවිධ මත ඉදිරිපත් කරමින් නිලවරණය පමා කිරීමට බව ශ්‍රී ලංකන් ස්පෝට්ස් වෙත වාර්තා වේ.
නිලවරණය පැවැත්වීම වත්මන් ඔලිම්පික් කමිටු සාමාජිකයන් සූදානම් යැයි පැවසුවද විගණන වාර්තා වසර කිහිපයක් ඉදිරිපත් කර නොමැත. මීට අමතරව ජාතික ඔලිම්පික් කමිටුවේ නව ව්‍යවස්ථාව ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ අවසරයකින් වෙනස් කිරීමට නොහැකි බව පවසමින් විධායක කමිටුව රැස්වීම කල් අරිමින් තිබේ.
පසුගියදා නොවැම්බර් මස 9 වැනිදා ඔලිම්පික් කමිටු මහ සභාවක් පැවැත්වුණි. එහිදී සාකච්ඡාවට නොගත් වැදගත් තීන්දු කිහිපයක් විධායක කමිටුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට බලාපොරොත්තු වුවද එය සිදු නොවන තත්ත්වයක් මේ වන විට පහළ වි තිබේ.
ඔලිම්පික් කමිටුවේ සාමාජිකත්වය ලබා ගැනීමට බේස්බෝල්, පංච ප්‍රයාම, කරාටේ දෝ, හිම ක්‍රීඩා සහ රෝද පුටු යන ජාතික සංගම් බලාපොරොත්තුවෙන් පසුවන අතර ඔවුන්ට අදාළ සාමාජිකත්වය අනුමත කර ගැනීමද විධායක කමිටුව මගින් සිදුකෙරේ. නියමිත පරිදි විධායක කමිටුව රැස් නොවීමෙන් ජාතික සංගම් කිහිපයක්ම මේ වන විට විරෝධය දක්වා තිබේ.
තත්ත්වය එසේ තිබියදී වත්මන් සභාපති හේමසිරි ප්‍රනාන්දු මහතා ඔලිම්පික් නිලවරණයට තරග කිරීමෙන් විශ්‍රාම යන බව පවසද්දී වත්මන් ලේකම් මැක්ස්වෙල් ද සිල්වා යළිත් සටනට සූදානම් වෙමින් තිබේ.