ඉර්ෆාන් පතන් එල්.පී.එල්. එයි

ජාතික කණ්ඩායම්වල තරග සහ වෙනත් ආබාධ හේතුවෙන් එල්.පී.එල්. තරගාවලිය නියෝජනය කිරීමට සිටි ක්‍රීඩකයන් කිහිප දෙනෙකු ඉවත් වුවද ඉන්දියාවේ හිටපු සුපිරි තුන් ඉරියව් ක්‍රීඩකයකු වන ඉර්ෆාන් පතන් අදාළ තරගාවලියේදී මහනුවර පිල නියෝජනය කිරීමට කොන්ත්‍රාත් අත්සන් කර තිබේ.
කුසල් පෙරේරාගේ නායකත්වයෙන් යුත් මහනුවර කණ්ඩායමේ පුහුණුකරු වශයෙන් හිටපු ක්‍රිකට් නායකයකු වන හෂාන් තිලකරත්න කටයුතු කරන අතර එම කණ්ඩායම විදෙස් ක්‍රීඩකයන් වන ක්‍රිස් ගේල්, ලියම් ප්ලන්කට් සහ වහබ් රියාස් ඇතුළත්ව තිබේ.
ක්‍රිස්ගේල් මීට දින කිහිපයක සිට මහනුවර කණ්ඩායමේ හිමිකරුවන් සමග සිය කොන්ත්‍රාත්තුව සම්බන්ධව සාකච්ඡා කළද අදාළ සාකච්ඡාවලින් පසුව ඔහු තරගාවලියට සහභාගි වීමට නියමිතව ඇතැයි වාර්තා වේ. ඒ අනූව මහනුවර කණ්ඩායමට අයි.පී.එල්. අත්දැකීම් ඇති 36 හැවිරිදි ඉර්ෆාන් පතන් එක්වීම මගින් එම කණ්ඩායමේ සමබරතාව වැඩිවන අතර තරගාවලියේ උත්කර්ෂවත් බවටද එය පිටිවහලක් වේ.
ඉන්දියානු ජාතික කණ්ඩායම නියෝජනය කරන කිසිම ක්‍රීඩකයකුට වෙනත් රටවල ප්‍රිමියර් ලීග් තරගවලට සහභාගි වීමට නොහැකි ලෙසට ඉන්දියානු ක්‍රිකට් ආයතනය තහංචි දමා තිබේ. එබැවින් ඉන්දියානු ජාතික කණ්ඩායම නියෝජනය කළ ඉර්ෆාන් පතන් මේ වන විට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන අයි.පී.එල්. තරගාවලියේ විස්තර විචාරකයකු වශයෙන් කටයුතු කරනු ලබයි.
“මම අනිවාර්යයෙන්ම මේ තරගාවලිය දෙස බලා ඉන්නවා. මම විස්සයි විස්ස ක්‍රීඩාවෙන් සමුගෙන තිබුණත් මට ලොව පුරා ඇති ඕනෑම තරගාවලියකට ක්‍රීඩා කරන්න පුළුවන්. පසුගිය වසර දෙක තුළදී මගේ ක්‍රීඩාවෙන් මට විනෝද වෙන්න බැරි වුණා. නමුත් මේ අවස්ථා වමට ලැබීමෙන් යළිත් සුපුරුදු ක්‍රීඩාව ඉදිරියට ගෙන යන්න බලාපොරොත්තු වෙනවා.” යැයි ඉර්ෆාන් එල්.පී.එල්. තරගාවලිය සම්බන්ධයෙන් පවසයි.
ඉර්ෆාන් පතන් ඉන්දියාව වෙනුවෙන් ටෙස්ට්තරග 29 කදී ශතකයක් සහ අර්ධ ශතක හයක් සමග මුළු ලකුණු 1105 ක් ලබා ඇති අතර එහි ඉනිමක සාමාන්‍ය 31.57 කි. ඔහු ටෙස්ට් කඩුලු 100 ක්ද දවා ගනිමින් තුන් ඉරියව්වෙන්ම දක්ෂතා දක්වා තිබේ. ඉර්ෆාන් පතන් එක්දින තරග 120 කදී මුළු ලකුණු 1544 ක්ද කඩුලු 173 ක්ද දවා ඇති අතර විස්සයි විස්ස තරගවලදී ඔහු පිතිකරුවකු වශයෙන් තරග 24 කදී ලකුණු 172 ක් සහ කඩුලු 28 ක් දවාගෙන තිබේ. මීට අමතරව පළමු පෙළ විස්සයි විස්ස තරග 177 කදී ලකුණු 1966 ක් සහ කඩුලු 173 ක් දවා ගැනීමට ඔහු සමත්ව තිබේ.
“මට දේශීය ක්‍රිකට් ක්‍රීඩාව ගැන පැහැදිලි කිරීමට අවශ්‍යයි. ඒකට අවස්ථාවක් ලැබුණු පසු මම පැහැදිලි කරන්නම්. නමුත් මට උදව් කරන්න පුළුවන් ඕනෑම කණ්ඩායමකට මම උදව් කරන්න කැමැතියි. මගේ අත්දැකීම් බෙදාගන්න සැමවිටම මම විවෘතයි.” යනුවෙන් ඉර්ෆාන් පතන් පවසන්නේ ඔවුන්ගේ දේශීය ක්‍රිකට් ක්‍රීඩකයන් ඉන්දියානු ක්‍රිකට් ආයතනයෙන් දමා ඇති තහංචි සම්බන්ධවද ඉඟි කරමිනි.
ඉන්දියානු ජාතික කණ්ඩායමෙන් මෑතකදී විශ්‍රාම ගිය ක්‍රීඩකයන්ද විදෙස් තරගවලට සහභාගී නොවන්නේ එම ක්‍රීඩකයන්ට ඉන්දියානු ක්‍රිකට් ආයතනයෙන් ලැබෙන කුඩම්මාගේ සැලකිල්ල හේතුවෙනි. නමුත් විශ්‍රාම ගොස් වසර කිහිපයක් ගතව ඇති ඉන්දියානු ක්‍රීඩකයන් විදෙස් තරගවලට සහභාගී වන්නේ ඔවුන්ගේ දේශීය ප්‍රධාන තරගාවලි වල අයි.පී.එල්. හෝ රංජිත් කුසලාන ක්‍රීඩා කිරීමට නොහැකි වීමෙනි. ඒ අනව මන්ප්‍රිත් ගෝනිද කොළඹ කිංග්ස් කණ්ඩායමට ක්‍රීඩා කරනු ලබන්නේ එවැනි පසුබිමකය.
කණ්ඩායම් පහක් සහභාගී වන එල්.පී.එල්. තරගාවලිය ලබන 21 වැනිදා සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වන අතර මූලික වටයේ තරග කිහිපයකින් පසුව අවසන් තරගය දක්වා වු තරග පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. අවසන් මහා තරගය දෙසැම්බර් මස 13 වැනිදා පැවැත්වීමට නියමිතය.
දේශීය තරගවලට සහභාගි වීම හේතුවෙන් මුලදී තරගාවලියට එක්ව සිටි ඇන්ඩ්‍රේ රසල්, ෆෆ් ඩූ ප්ලෙසිස්, ඬේවිඞ් මිලර්, මන්වින්දර් බිස්ලා සහ ඬේවිඞ් මාලන් යන විදෙස් ක්‍රීඩකයන් මේ වන විට තරගාවලියෙන් ඉවත්ව ඇති අතර ඉර්ෆාන් පතන් මෙන් තවත් විදෙස් ක්‍රීඩකයන් කිහිප දෙනකුම තරගාවලියට එක් කරගැනීමට කණ්ඩායම් හිමිකරුවන් මේ වන විටත් උත්සහ කරමින් සිටින බව වාර්තා වේ.