එල්.පී.එල්. ගැන තීන්දුව පැය 24 කින්

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය විසින් ලබන 21 වැනිදා සූරියවැව මහින්ද රාජපක්ෂ ක‍්‍රීඩාංගණයේදී ආරම්භ කිරීමට නියමිත එල්.පී.එල්. තරගාවලිය පැවැත්වීමට හැකි වාතාවරණයක් තිබේද යන්න හෙට (04 ) තීරණය කිරිමට නියමිතය තිබේ.
යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා මේ සම්බන්ධයෙන් පවසන්නේ මෙවැනි අදහසකි.
‘‘අපි බලනවා රටේ තත්ත්වය අනුව කොහොමද මේ තරගාවලිය පවත්වන්න පුළුවන් කියලා. සෞඛ්‍ය බළධාරීන්ගේ උපදෙස් සහ කෝවිඞ් 19 රෝග ව්‍යාප්තිය පාලනය කරමින් තරගාවලිය පවත්වන්න පුළුවන්ද බැරිද කියලත් සොයා බලනවා. විදෙස් ක‍්‍රීඩකයන් ඇතුළු අනිකුත් විදේශිකයන්ව නිරෝධානය කරන කාලසීමාව වගේ කරුණු ගණනාවක් සම්බන්ධව සාකච්ඡුා කරලා අපි අද තීරණයක් ගන්නවා තරගාවලිය පවත්වන්න පුළුවන්ද බැරිද කියලා.’’ යැයි යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා ‘දිවයින’ කළ විමසීමකදී පැවසීය.
ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය නියෝජිතයන්, යුද හමුදාපති සහ සෞඛ්‍ය බළධාරීන් එක්ව හෙට පැවැත්වෙන සාකච්ඡුාවෙන් අනතුරුව තරගාවලිය සම්බන්ධව ස්ථිර විසඳුමක් ප‍්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබේ. එහිදී නිරෝධාන කාලය ක‍්‍රීඩකයන්ට දින හතකට අවම කරන ලෙසට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් විසින් සහ කී‍්‍රඩා ඇමැතිවරයා විසින් යෝජනා කරනු ඇතැයි වාර්තා වේ.
යම් හෙයකින් තරගාවලිය ශ‍්‍රී ලංකාවේ පැවැත්වීමට නොහැකි වුවහොත් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීම සම්බන්ධවද අයි.පී.ජී. ආයතනය අවධානය යොමු කර ඇතැයි වාර්තා වුවද එල්.පී.එල්. තරගාවලියේ අධ්‍යක්ෂක රවීන් වික‍්‍රමරත්න මහතා ‘ශ‍්‍රී ලංකන් ස්පෝට්ස්’ කළ විමසීමකදී පැවසුවේ එවැනි තත්ත්වයක් නොමැති බවයි.
‘‘මේ තරගාවලිය අපිට අවශ්‍ය අපේ රටේ තියන්න. එහෙම නැතිව විදෙස් රටක පවත්වන්න අපි බලාපොරොත්තුවක් නැහැ. ඒ වගේම අයි.පී.ජී. ආයතනය වෙනත් තැනක පවත්වන්න උත්සාහ කරනවා කියලා අපිට කියලත් නැහැ. යම් හෙයකින් තරගාවලිය එකම ස්ථානයක පවත්වන්න කියලා උපදෙස් දුන්නොත් ඒකටත් අපි සූදානම්. සියලූම ක‍්‍රීඩකයන් සහ කාර්ය මණ්ඩල ජෛව ආරක්ෂිතව බුබුලක් වටා තියා ගනිමින් තමයි අපි තරගාවලිය පවත්වන්න සැලසුම් කරලා තියෙන්නෙ.’’ යනුවෙන් රවීන් වික‍්‍රමරත්න මහතා වැඩිදුරටත් පැවසීය.
ක‍්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාද එල්.පී.එල්. තරගාවලිය පැවැත්වීම සම්බන්ධයෙන් වැඩි උනන්දුවකින් පසුවන නමුත් බොහෝ විදෙස් ක‍්‍රීඩකයන් දින 14 ක කාල සීමාවක නිරෝධානයට අකමැත්ත පළකරමින් සිටියි. මහනුවර කණ්ඩායම ක‍්‍රීඩා කිරීමට නියමිතව ඇති ක‍්‍රිස් ගේල්ද දින 14 ක නිරෝධානයකට යටත්ව තරගාවලියට සහභාගි වීමට අකමැත්ත පළ කර ඇති අතර අද පැවැත්වෙන සාකච්ඡුාවලදී දින හතක නිරෝධානය සම්බන්ධවද මාර්තෘකාවට බඳුන් වනු ඇතැයි විශ්වාසදායී ආරංචි මාර්ග ඔස්සේ වාර්තා වේ.
සමස්ත තරගාවලිය සුරියවැවදී පැවැත්වීමට වුවත් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් සූදානම් වන අතර ලබන 21 වැනිදා සිට නොවැම්බර් මස 13 වැනිදා දක්වා කණ්ඩායම් පහක සහභාගීත්වයෙන් තරගාවලිය ආරම්භ කිරීමට සියලූ කටයුතු සූදානම් කර තිබුණද ඒ සඳහා වන අවසරය හෙට ලැබෙනු ඇත.