කටුකුරුන්දේ කගවේනා අශාන්

මෝටර් රථ ක්‍රීඩාව නැවත පණ ගන්වමින් පැවැති එස්එල්ටී ස්පීඩ් අප් කටුකුරුන්ද මෝටර් රථ ධාවන තරගාවලියේදී සිය දස්කම් යළිත් විදහා දැක්වූ අෂාන් සිල්වා එස්එල් – ජීටී 3500cc සුපිරි මෝටර් රථ තරග ඉසව් ද්විත්වයම ජය ගනිමින් තරගාවලියේ දක්ෂතම ධාවන ශූරයා ලෙස සම්මාන දිනා ගත්තේය.

මෝටර් රථ ක්‍රීඩාවේ මව් සංගමය වන ශ්‍රී ලංකා ඔටොමෝබයිල් ස්පෝර්ට් සංගමයේ මූලිකත්වයෙන් හා සාමාජික සංගම්වල දායකත්වයෙන් සහ ගුවන් හමුදාවේ අනුග්‍රාහකත්වයෙන් පසුගියදා කටුකුරුන්ද ගුවන් හමුදා ධාවන පථයේදී පැවැති මේ තරගාවලියේදී අෂාන් සිල්වා වට 10කින් සමන්විත එස්එල්-ජීටී තරග ද්විත්වයම ජය ගත්තේ අභියෝගයකින් තොරවය. දෙවැනි ස්ථානය සඳහා තියුණු තරගයක් පැවැති අතර, අවසානයේ කෞශල්‍ය සමරසිංහ අබිබවා ගිය උෂාන් පෙරේරා දෙවැනි තැන අත් කර ගත්තේය. එහි දෙවැනි තරගයේදී දෙවැනි ස්ථානය සඳහා උෂාන් පෙරේරාට කෞශල්‍යගෙන් මෙන්ම රෝහිත රාජපක්ෂගෙන් ද දැඩි අභියෝගයක් එල්ල වීම කැපී පෙනිණි. කෙසේ වෙතත් අවසානයේ කෞශල්‍ය සමරසිංහ දෙවැනි ස්ථානය දිනා ගත් අතර, රෝහිත රාජපක්ෂ තුන්වැනි ස්ථානය දිනා ගැනීමට සමත් විය. රෝහිත රාජපක්ෂ එස්එල්-ජීටී වේගවත් ධාවන ඉසව්වකට සහභාගි වූ පළමු අවස්ථාව මෙය වූ අතර, පළමු අවස්ථාවේදීම ජයග්‍රහණයක් අත් කර ගැනීම විශේෂත්වයකි.

තරග ඉසව් 14කින් සමන්විත වූ මේ තරගාවලියට තරගකරුවන් 120කට අධික පිරිසක් සහභාගි වූ අතර, දෙවැනි වේගවත්ම ධාවන ඉසව්ව වූ එස්එල්-එච් 1600CC තරග ඉසව් ද්විත්වයම විරාන් බොතේජු ජය ගනිද්දී ළාබාලතම ක්‍රීඩක කේසර ගොඩගේ එම තරග ඉසව් ද්විත්වයේදීම දෙවැනි තැන අත් කර ගැනීමට සමත් විය.

එස්එල්ටී-මොබිටෙල් අනුග්‍රාහකත්වය යටතේ පූර්ණ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයට අනුව සංවිධාන කළ මේ තරගාවලිය ප්‍රේක්ෂකයන්ට නැරැඹීමට අවස්ථාව හිමි නොවිණි.