පිල් සල්ට් දඹුල්ල ඔසවා තබයි

පිල් සල්ට්ගේ වේගවත් අර්ධ ශතකයේ ජවයෙන් ප්‍රාණවත් දඹුල්ල කණ්ඩායම එල්පීඑල් තරගාවලියේ 2වැනි ජයග්‍රහණය වාර්තා කරමින් ප්‍රසාද ලකුණු සටහනේ 2 වැනි ස්ථානයට පත්වීමට අද (8) කොළඹ ආර්ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී සමත් විය.
නායක දසුන් ශානක කාසියේ වාසිය සමග පළමුව පිති ප්‍රහාරය දියත් කිරීමට තීරණය කළ අතර එහිදී ආරම්භක පිතිකරු පිල් සල්ට් මෙම තරගාවලියේ දෙවැනි අර්ධ ශතකය වාර්තා කිරීම සුවිශේෂී වෙයි. ඔහු පන්දු 34 කදී හයේ පහර දෙකක් සහ හතරේ පහර අටක් සමග අකිල ධනංජය දුෂ්මන්ත චමීර සහ සීක්කුගේ ප්‍රසන්න යන පන්දු යවන්නන්ව දැඩි ප්‍රහාරයකට ලක් කළේය.
මැද පෙළින් දඹුල්ල ඔසවා තැබු නජිබුල්ලා සද්රන් පන්දු 40 කදී හයේ පහර දෙකක් සහ හතරේ පහර හයක් සමග ලකුණු 54 ක් ලබා ගත් අතර නායක දසුන් ශානක පන්දු 25 කදී හයේ පහර දෙකක් සහ හතරේ පහර තුනක් සමග ලකුණු 38 ක් ලබා ගනිමින් කොළඹ පිලට ලකුණු 196 ක ඉලක්කයක් ලබාදීමට සමත් විය.
නමුත් චාමික කරුණාරත්න (46/2) නුවන් ප්‍රදීප් (50/3) තරිඳු රත්නායක (17/2) සහ ඉම්රාන් තහීර් (36/2) ගේ කඩුලු දඩයම හේතුවෙන් කොළඹ පිලේ ඉනිම පන්දුවාර 18.5 කදී ලකුණු 177 කට නිමා විය.
කොළඹ පිල වෙනුවෙන් පැතුම් නිශ්ශංක (12) ටොම් බැන්ටන් (23) කුසල් පෙරේරා (20) දිනේෂ් චන්දිමාල් (26) සහ ධනංජය ද සිල්වා (21) යන පිතිකරුවන් ක්‍රීඩා කළත් දඹුලු පන්දු යවන්නන් හමුවේ ඔවුන් පරාජයට පත් විය.