කුමාර් සංගක්කාරගේ එම්.සී.සී. ලොකු පුටුව කාන්තාවකට

ලෝක ක‍්‍රිකට් ඉතිහාසයේ සුවිශේෂී ස්ථානයක් වන එංගලන්තයේ මාලිබෝල් ක‍්‍රිකට් සමාජයේ මීළඟ සභාපතිවරයා වශයෙන් කාන්තාවක් පත්කර තිබේ. වත්මන් සභාපති කුමාර් සංගක්කාරගෙන් පසුව ලබන 2011 වසරේ ඔක්තෝම්බර් සිට එංගලන්ත හිටපු ක‍්‍රිකට් නායිකා ක්ලෙයාර් කෝනර් පත්කර තිබේ.
1995 වසරේදී එංගලන්ත කාන්තා යොවුන් කණ්ඩායම නියෝජනය කළ තුන් ඉරියව් ක‍්‍රීඩිකාවක වු ක්ලෙයා 2000 වසරේදී එංගලන්ත ජාතික කණ්ඩායමේ නායිකාව වශයෙන් පත් වූවාය. ඇය එම්.සී.සී. පළමු කාන්තා සාමාජිකාව වශයෙන්ද ඉතිහාස ගතව ඇතැයි වාර්තා පෙන්වා දෙයි.
මේ වන විට43 හැවිරිදි ක්ලෙයාර් අදාළ ධුරයට යෝජනා කිරීම සම්බන්ධයෙන් ඉතාමත් සතුටට පත්ව සිටින බව ඇය පැවසුවාය. ‘‘එම්.සී.සී. මීළඟ සභාපතිවරයා වශයෙන් මාව පත්කිරීම ඉතාමත් ගෞරවයක්. මේ වන විටත් ක‍්‍රිකට් මගේ ජීවිතය ඉතා ගැඹුරින් පොහොසත් කර තිබෙනවා. දැන් ලැබී තිබෙන්නේ ඊටත් වඩා ලොකු වරප‍්‍රසාදයක්. එදා ලෝඞ්ස් ක‍්‍රීඩාංගණයට මම නව හැවිරිදි වියේ ගියෙත් ක‍්‍රිකට් පිස්සියෙක් වගේ. නමුත් එදාට වඩා කාන්තාවට අද ලෝඞ්ස් හී තැනක් තියෙනවා.’’
වසර 233 ක එම්.සී.සී. ඉතිහාසයේ විදේශකයකු සභාපතිවරයා වශයෙන් පත්වු පළමු අවස්ථාව සටහන් කරමින් කුමාර් සංගක්කාර 2019 වසරේදී අදාළ ධුරයට පත්විය. ඔහුගේ නිල කාලය මෙම වසරේ ඔක්තෝම්බර් මසදී අවසන් වීමට නියමිතව තිබුණද කොරෝනා වසංගතය හමුවේ රාජකාරි කිරීමට කාලයක් නොතිබීමෙන් 2021 වසරේ ඔක්තෝම්බර් දක්වා අදාළ තනතුර දීර්ඝ කිරීමට එම්.සී.සී. විධායක කමිටුව ඒකමතිකව තීරණය කර තිබේ.
මේ වන විට එම්.සී.සී. පූර්ණ සාමාජිකයන් සංඛ්‍යාව 18000 ක් වේ. එහි පළමු කාන්තා සාමාජිකාව වශයෙන් ක්ලෙයාර් 2018 වසරේදී සාමාජිකත්වය ලබා තිබේ. ලොව ක‍්‍රිකට් නීති රීති සකස් කරන එකම ක‍්‍රීඩා සමාජය වශයෙන් එම්.සී.සී. හඳුන්වන අතර එය ගෞරවයට පාත‍්‍රවන ක‍්‍රිකට් සමාජයකි. සමාජ සත්කාර මෙන්ම විවිධ වැඩසටහන් දියත් කරන එම්.සී.සී. ය වසරකට ක‍්‍රීඩා තරග පනහකට වැඩි සංඛ්‍යාවක් සංවිධානය කරනු ලබයි.