සගයන් විවේක ගනිද්දී ලක්මාල් ගැබා පිටිය හොල්ලයි

කෝසල ගමගේ

මේ දිනවල ගැබා ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන ශ්‍රී ලංකා ‌ඕස්ට්‍රේලියා පළමු දිවා රාත්‍රී ටෙස්ට් තරගයේ දෙවන දිනයේදී ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ පළමු ඉනිම ලකුණු 323කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වූ අතර එහිදී සුරංග ලක්මාල් කඩුලු 5ක් දවා ගනිමින් අති විශිෂ්ඨ දස්කම් දැක්වීමට සමත්විය.
තරගයේ පළමු දිනයේදීම ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 144කට සීමා වූ අතර අනතුරුව පන්දුවාර 107ක් පුරා ඕස්ට්‍රේලියානු ඉනිම ක්‍රියාත්මක විය. එහිදී ශ්‍රී ලංකා වේග පන්දු බලඇණියේ සාමාජිකයන් දෙදනකු වූ ලහිරු කුමාර සහ දුෂ්මන්ත චමීර යම් ආබාධයන්ට ලක් වෙද්දී තම හුදෙකලා සටන අත්නොහැරි ලක්මාල් ලකුණු 75කට කඩුලු 5ක් බිිද හෙලමින් ඕස්ට්‍රේලියානු ඉනිම අඩපන කළේය.
එහිදී ඕස්ට්‍රේලියානු ඉනිම දෙවන නව පන්දුව ලබා ගැනීමෙන් අනතුරුව අන්ත දෙකෙන්ම වේග පන්දු යවන්නන් දෙදෙනකු කැදවීමට පන්දු යවන්නන් නොමැතිව නායක චන්දිාල් යම් අපහසුතාවයකට පත්වන ආකාරය දක්නට ලැබුණු අතර එක් අන්තයකින් සුරංග ලක්මාල් දිගින් දිගටම පන්දු යවමින් කඩුලු ලබා ආකාරය දක්නට ලැබිණි.
කෙසේ වෙතත් දිනය නිමා වන විට දෙවන ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම තම දෙවන ඉනිම වෙනුවෙන් ලකුණු 17/1ක් ලෙස සටහන් වු අතර දිනයේ අවසන් පන්දුවේදී කඩුල්ල රැක ගැනීමට අසමත් වූ ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න පැට් කමින්ස්ගේ පන්දුවකට කඩුලු රකින්නා අතට උඩ පන්දුවක් ලබාදී ලකුණු 3කට දැවී ගියේය.