මාලිංගට 20-20 නායකත්වය රැක ගැනීමට අවසන් අවස්ථාව…

බටහිර ඉන්දීය කොදෙව්වන් සමග පැවැත්වෙන විස්සයි විස්ස තරග දෙක සඳහාද ලසිත් මාලිංගට ශ‍්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය ලබාදීමට ක‍්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන ඇතැයි සඳහන් වේ. ඒ අනුව එම තරගාවලිය මාලිංගගේ නායකත්වය මැන බලන අවසන් තරගාවලිය වනු ඇතැයිද වැඩිදුරටත් වාර්තා වේ.
ඉකුත් 2019 වසරේ සිට ලසිත් මාලිංග නායකත්වය ලබාදුන් විස්සයි විස්ස තරග 13 කින් තරග 12 ක්ම පරාජය වී ඇති අතර ජය ලබා ඇත්තේ තරග දෙකක් පමණි. එම තරගය නවසීලන්තයට එරෙහිව ජය ලැබු අතර ඊට ප‍්‍රධානතම හේතුව වුයේද ලසිත් මාලිංග විසින් පිට පිටම පන්දු හතරකදී කඩුලූ හතරක් දවා ගැනීමයි. ඒ වෙනුවෙන් 2019 වසරේ හොඳම විස්සයි විස්ස පන්දු යැවීමේ සම්මානයද ක‍්‍රික් ඉන්ෆෝ වෙතින් මාලිංගට ලබාදී තිබේ.
කෙසේ වෙතත් 36 හැවිරිදි ලසිත් මාලිංගගේ ශාරිරික යෝග්‍යතාව සම්බන්ධයෙන් වත්මන් ප‍්‍රධාන පුහුණුකරු මිකී ආතර්ද වැඩි අවධානයක් යොමු කර ඇති අතර ඔහුට කිලෝ 10 කට අඩු සංඛ්‍යාවක් බර අඩු කර ගැනීමටද උපදෙස් දී ඇතැයි වාර්තා වේ. මාලිංගට එළැඹෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේදී ශ‍්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය ලබා ගැනීමට නම් කොදෙව් තරගාවලිය සාර්ථකව මෙහෙය විය යුතු වේ.
කණ්ඩායමේ ක‍්‍රීඩකයන්ගේ මානසික ඒකාග‍්‍රතාව, ක‍්‍රීඩාංගණයේදී කණ්ඩායම හැසිරවීම සහ ප‍්‍රතිවාදීන්ට එරෙහිව හොඳ සංයුතිය ගලපා ගැනීමේ ප‍්‍රධාන කටයුත්ත නායකයාගේ කර මත පැටවී තිබුණද මාලිංග එය පසුගිය කාලයේ හොඳින් නොකර බව පැහැදිලි වන්නේ ඔහුගේ නායකත්වය හමුවේ කණ්ඩායම පරාජයට පත්වීමේ සම්භාවිතාව වැඩිවී තිබීමයි.
දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ශ‍්‍රී ලංකා කණ්ඩායම පාකිස්තානයේදී විස්සයි විස්ස තරගාවලිය 3-0 ක් වශයෙන් ජය ගැනීම හේතුවෙන් මාලිංගගේ නායකත්වය විවේචනයට බඳුන් විය. ඔහු අනතුරුව ශ‍්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවූ ඔස්ටේ‍්‍රලියානු සහ ඉන්දියානු සංචාරවලදී දැවැන්ත පරාජයන් වලට මුහුණ දීමට සිදුවිය.
ලෝක කුසලාන විස්සයි විස්ස තරගාවලිය ලබන ඔක්තෝම්බර් මාසයේදී ඔස්ටේ‍්‍රලියාවේ පැවැත්වෙ අතර ඊට පෙර ශ‍්‍රී ලංකා කණ්ඩායම ශක්තිමත් කර ගැනීම සහ එකම කණ්ඩායමක් දිගටම ක‍්‍රීඩා කරවීමේ සංකල්පයක් ක‍්‍රිකට් තේරීම් කමිටුව සහ පුහුණුකරුවන් තුළ තිබේ. නමුත් එකම කණ්ඩායම එක දිගට පරාජයට පත්වීම සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කිරීමේදී කොදෙව් සංචාරය ලෝක කුසලානට පෙර හොඳ තෝතැන්නක් බවට පත්ව ඇත. මාලිංගට නායකත්වය ලබා නොදුනහොත් ඇන්ජලෝ මැතිව්ස් හෝ දසුන් ශානක කෙරෙහි ශ‍්‍රී ලංකා තේරීම් කමිටුව අවධානය යොමු කළද ඒ සම්බන්ධයෙන්ද ඔවුන් මේ වන විට දෙගිඩියාවකින් පසුවන බව අභ්‍යන්තර ආරංචි මාර්ග ඔස්සේ වාර්තා වේ.
බටහිර ඉන්දීය කොදෙව්වන් සහ ශ‍්‍රී ලංකාව අතර පැවැත්වෙන පළමු විස්සයි විස්ස තරගය මාර්තු මස 4 වැනිදා සහ 6 වැනිදා පල්ලකැලේ ජාත්‍යන්තර ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ. ඊට පෙර දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් ශ‍්‍රී ලංකා පිල එක්දින තරග තුනකට සහභාගි වන අතර එක්දින තරගාවලිය ලබන 22 වැනිදා ආරම්භ වේ.