ලසිත් මාලිංගව විස්සෙනුත් හලයි

විස්සයි විස්ස තරග විශේෂඥයකු ලෙස පසුගිය කාලයේ කතා බහට ලක්වූ වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගව ඉන්දියාව සමග පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලියෙන් ඉවත් කර තිබේ. මාලිංගගේ ශාරීරික සෞඛ්‍ය, පන්දු රැකීම සහ පන්දු යැවීම සලකා බලමින් ක්‍රිකට් තේරීම් කමිටුව මෙම තීරණය ගෙන තිබේ.
මාලිංග විස්සයි විස්ස තරග 68 ක දී බිඳ දමා ඇති කඩුලූ සංඛ්‍යාව 90 කි. කඩුල්ලක් දවා ගැනීමේ සාමාන්‍ය 19.77 කි. කෙසේ වෙතත් මාලිංග ක්‍රීඩා කළ අවසන් විස්සයි විස්ස තරග දහයේදී කඩුලූ 21 ක් දවා ගැනීමට සමත්ව තිබේ. නමුත් ඔහුගේ පන්දු ඕවරයකට දළ ලකුණු අටකට ආසන්න සංඛ්‍යාවක් ප්‍රතිවාදීන් ලබා ගැනීම, පන්දු රැකීම සහ ශාරීරික යෝග්‍යතාව සැලකිල්ලට ගනිමින් විස්සයි විස්ස සංචිතයේ ස්ථානය අහිමිව ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ. කෙසේ වෙතත් ඉන්දියාව සමග පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතය නිල වශයෙන් ප්‍රකාශයට පත්කිරීමට තවදුරටත් ප්‍රමාද වී තිබේ.