අවසන් මහා තරගය සඳහා වරම් ලැබූ මෙක්සිකෝව

වයස අවුරුදු 17න් පහල ෆිෆා ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට මෙක්සිකෝව සමත් විය.

ඒ අවසන් පූර්ව තරගයේදී නෙදර්ලන්ත වයස අවුරුදු 17න් පහල කණ්ඩායම පරාජයට පත් කරමින්.

බ්‍රසීලයේ පැවැත්වෙන වයස අවුරුදු 17න් පහල ෆිෆා ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරගයක් පැවැත් වුණේ මෙක්සිකෝව සහ නේදර්ලන්තය අතරයි.

ඒ අනුව පැවැති තරගයේ පළමු අර්ධයේදී දෙපිලේ ක්‍රීඩකයන්ට ගෝල වාර්තා කිරීමට ඉතා ආසන්න අවස්ථා කිහිපයක් උදා වුවත් ඒවා අසාර්ථක වී ගියේය.

තරගයේ පළමු අර්ධය අවසන් වුණේ ගෝල 0ට 0ක් ලෙසයි.

අනතුරුව ආරම්භ වු තරගයේ දෙවන අර්ධයේදී ද වැඩි වේලාවක් යන තෙක් ගෝල වාර්තා කිරීමට නොහැකි වු අතර තරගයේ 74 වන මිනිත්තුවේදී පළමු ගෝලය වාර්තා කිරීමට නෙදර්ලන්තය සමත් විය.

තරගයේ 79 වන මිනිත්තුවේදී මෙක්සිකෝවද ගෝලයක් වාර්තා කල අතර තරගය අවසන් වුනේ ගෝල 1ට 1ක් ලෙස සම තත්ත්වයෙනි.

ඒ හේතුවෙන් තරගයේ ජයග්‍රහකයින් තෝරා ගැනීම සඳහා දඩුවම් පහර අවස්ථා භාවිතා කිරීමට තරග විනිසුරුවරුන් තීරණය කළ අතර දඩුවම් පහර 4ට 3ක් ලෙස තරගය ජය ගැනීමට මෙක්සිකෝව සමත් විය.

ඒ අනුව මෙවර වයස අවුරුදු 17න් පහල ෆිෆා ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගය සඳහා මෙක්සිකෝව සුදුසුකම් ලබා ගත් අතර අවසන් මහා තරගයේදී ඔවුන් බ්‍රසීලය සමඟින් තරග වැදීමට නියමිතයි.