මුරණ්ඩු වූ ශේෂාඞ්ට ඇෆ්ගගිස්තාන් ක‍්‍රිකට් ආයතනයෙන් ‘ටොක්කක්’

ඇෆ්ගනිස්තාන ක‍්‍රිකට් ආයතනයේ නීති රීති උල්ලංගණය කළ ප‍්‍රහාරාත්මක පිතිකරු මොහොමඞ් ශේෂාඞ්ට ඇෆ්ගනිස්තාන ක‍්‍රිකට් ආයතනය විසින් දින නියමයක් නොමැතිව ඔහුගේ කොන්ත‍්‍රාත්තුව අත්හිටුවා තිබේ.
දිගින් දිගටම විනය විරෝධී චෝදනා එල්ල වූ මොහොමඞ් ශේෂාඞ්ව පසුගිය ලෝක කුසලාන තරගාවලිය සමයේදී දැඩි කතා බහට ලක්විය. ඔහු කණ්ඩායමෙන් ඉවත් කර තිබුණේ ආබාධයක් හේතුවෙන් බව පැවසුවද ශේෂාඞ් හඩමින් පවසා තිබුණේ තමාට කිසිම ආබාධයක් නොමැති බවත් ඔවුන් නිකරුණේ තමාව කණ්ඩායමෙන් ඉවත් කර ඇති බවත්ය.
කෙසේ වෙතත් ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියෙන් පසුව ඇෆ්ගනිස්තාන් ක‍්‍රිකට් ආයතනය සමග හොඳ හිත පළුඳු වී සිටි මොහොමඞ් ශේෂාඞ් ඔවුන්ට නොදන්නවාම විදෙස් ක‍්‍රිකට් තරගාවලියකට සහභාගි විය. කැනඩාවේ පැවැත්වෙන ග්ලෝබල් විස්සයි විස්ස ක‍්‍රිකට් තරගාවලියට ශේෂාඞ් සහභාගි වීම හේතුවෙන් ඔහුට එරෙහිව අදාළ ක‍්‍රියාමාර්ගයක ගැනීමට ඇෆ්ගනිස්තාන් ක‍්‍රිකට් බළධාරීන් කටයුතු යොදා තිබේ.
ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ ප‍්‍රධානතම පිතිකරුවා සහ කඩුලූ රකින්නා වන ශේෂාඞ් එරට වැඩිම ශතක සංඛ්‍යාවක් වාර්තා කළ පිතිකරුවාද වේ. ‘ඔහු අපිට නොදන්නවා විදෙස් තරගාවලියකට සහභාගි වෙලා තියෙනවා. මීට පෙරත් විනය කමිටුවට එන්න කිව්වා. ඒත් ඔහු පැමිණියේ නැහැ.’ යැයි ඇෆ්ගනිස්තාන් ක‍්‍රිකට් ප‍්‍රධානියා ඒ සම්බන්ධයෙන් අදහස් දක්වා තිබේ.